ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවකට අනුව වෙළෙඳපොළේ පවතින ආනයනික භාණ්ඩ අදාළ නියමිත ක්‍රමවේදයෙන් බැහැරව රේගුවෙන් නිදහස් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අනාවරණය කරගෙන ඇතත් ඒ සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එම ආයතනය අපොහොසත් වී ඇති බව පෙන්වා දෙයි.

වැඩිදුරටත් එම වාර්තාවේ සදහන් වන්නේ ආනයනකරුවන් භාණ්ඩ මත සලකුණු කරන මිල ගණන්වලට වඩා වැඩි මිලකට එම භාණ්ඩ විකිණෙන බවත් සමාගම් හරහා ලකුණු කරන ලද ලේබල් ගලවා ඉවත් කර වෙනත් ලේබල් අලවා තිබූ බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිරීක්ෂණය කර ඇති නමුත් ඒ සම්බන්ධව ගත යුතු ක්‍රියා මාර්ග ගෙන නොමැති බවයි.

බොහෝ ආනයනකරුවන් රටට ගෙන්වනු ලබන භාණ්ඩ මත වන බදු ගෙවීම පැහැර හැරීමට උත්සාහ දරන බවත් එම අධිකාරිය තොරතුරු අනාවරණය කරගෙන ඇතත් අදාල අංශ ඒවා වැළැක්වීමට ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත්වී ඇති බව එම වාර්තාවේ සදහන් වේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පාරිභෝගික පැමිණිලි අංශයට ලැබී ඇති පැමිණිලි විසඳීම සඳහා වසරකට ආසන්න කාලයක් ගතව ඇති බව පෙනී යන බවත් එමඟින් අදාළ පැමිණිලිකරුවන්ට සාධාරණයක්වී නොමැති බවද එහි සදහන්ව ඇත.