ඊයේ (08) රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

එම තීන්දුව පුර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් මඟින් අභියෝගයට ලක්කළ හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මණ්ඩාධිපති මහාචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ, ඩයනා ගමගේ මහත්මියට ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිශ්චය සභාවක් ලබාදුන් නඩු තීන්දුවක් බැවින් එය පූර්ණ විනිශ්චය මණ්ඩලයක් මඟින් අභියෝගයට ලක් කළ හැකි බවයි.

“මෙතුමියට තව එක අවස්ථාවක් තියෙනවා. මෙතුමියට පුළුවන් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් ඉල්ලා සිටින්න. මොකද මෙය ත්‍රිපුද්ගල විනිශ්චය සභාවක් විසින් ලබාදීලා තියෙන්නේ. එතකොට එවැනි තීරණයක් අභියෝගයකට ලක්කරන්න පුළුවන් පූර්ණ විනිශ්චය මණ්ඩලයකට. ඒ අවස්ථාව ඇයට තාම තියෙනවා. හැබැයි ඊට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය හිස්වූ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් දැන්වුවහොත් මැතිවරණ කොමිසමට ඒ පක්ෂයේ ඕනෑම අයෙකුට ජාතික ලැයිස්තුවෙන් එන්න පුළුවන්. ඉතින් මේ දෙකෙන් මොකක් ඉස්සර වෙයිද කියලා අපි බලන්න ඕනේ.”

මේ අතර පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන් තීන්දුවත් සමග ඩයනා ගමගේ මහත්මිය යටතේ ලියාපදිංචි වී ඇති සමගි ජනබලවේගය පක්ෂයේ නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් ද ප්‍රතිභා මහනාමහේවා මහතා මෙලෙස අදහස් පළ කළේය.

“මේ පක්ෂය දැනට ලියාපදිංචි කරලා තියෙනවා. එතකොට මේ පක්ෂයේ සභාපති කෙනෙක් ඉන්නවා. ලේකම්, පක්ෂ නායකයෙක් ඉන්නවා. ඊළඟට එන ප්‍රශ්නය පක්ෂය ලියාපදිංචියත් නීතිවිරෝධී ද කියන එක. එහෙම ලියාපදිංචිය අභියෝගයට ලක්කිරීමට නම් තවත් පාර්ශව කිහිපයක් වගඋත්තරකරුවන් ලෙස ඉදිරිපත් කළ යුතුයි. මේක ඉදිරියට තවත් නඩුවක් ලෙස ගෙන ආ යුතුයි. මේ මන්ත්‍රීවරිය අවුරුදු 4ක් වැටුප් අරන් තියෙනවා. එයා ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවී වංචා සහගත ලෙස වැටුප් අරන් තියෙනවා නේ. එතකොට ඒවත් අය කරගන්න ඕනේ. එතකොට ඒවා වෙනම නඩුවකින් එන්න ඕනේ. මේ අභියාචන පෙත්සමේ සහනය ලබාදීලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය. ඉදිරි දේවල් වෙනම බලාගන්න වෙනවා.”