ප්‍රසිද්ධ රංගන ශිලිපිනියක වන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ගොනු කර තිබූ අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රය කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (27) දින ප්‍රතික්ෂේප කළේය. කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා, රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කළැයි කියමින් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් තමන් අත් අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් ප්‍රසිද්ධ රංගන ශිලිපිනියක වන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා මෙලෙස අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රයක් ගොනුකර තිබුණි.

කෙසේ නමුත් දමිතා අබේරත්න මහත්මිය පවතින නඩු සඳහා ඇප මත සිටීමත් දිගින් දිගටම පැමිණිල්ලට සහාය නොදී විමර්ශන කටයුතු මඟ හැර සිටීමත් පැමිණිල්ල සම්බන්ධයෙන් අගාමික විගාමික පනතේ 45(ඇ) වගන්තිය යටතේ කරුණු වාර්තා කර තිබීම නිසා ඇප ලබා දීමට මහේස්ත්‍රාත් අධිකරණය බලයක් නොතිබීමත් හේතුවෙන් අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රය ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේ ය.

දමිතා අබේරත්න මහත්මිය වෙනුවෙන් පෙනී සිටින ලද ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා පවසා සිටියේ මෙම පැමිණිල්ල කිසිම සාධකයක් නොමැතිව රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ අරමුණින් අගාමික විගාමික පනත යටතේ කරුණු වාර්තා කිරීම වැරදිසහගත බැවින් එම කොටස අවලංගු කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයේ රිට් පෙත්සම් 2 ක් ගොනු කර ඇති බවත් එය අප්‍රේල් 2 වැනිදා විභාගයට ගැනීමට නියමිත බවත් ය.

දමිතා අබේරත්න මහත්මියගේ පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ, නීතිඥ තරිඳු වික්‍රමනායක, නීතිඥ හිමාෂ ප්‍රනාන්දු, නීතිඥ අස්තික දේවේන්ද්‍ර, නීතිඥ හරිත් හෙට්ටිආරච්චි මහත්වරු පෙනි සිටියේ ය.