විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ඇප මත මුදාහැරීමට අද (අප්‍රේල් 24) කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත. ඒ අද අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ, එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරුවන් මුදා හරින ලෙසයි.

කොරියාවේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයන් රවටා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දමිතා අබේරත්න සහ ඇගේ සැමියා පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ඒ, එම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී දින කීපයක් අධිකරණය මගහැර සිටි සැකකාර යුවළ නීතිඥවරයෙකු මගින් අධිකරණය වෙත භාර වීම සඳහා අප්‍රේල් 4 වන දා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී ය.

පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුව එම දෙපාර්තමේන්තුව මගින් සැකකාර යුවළට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා පත්‍ර ගොනුකර තිබිණි.

මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන් අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බැවින් තමන්ට අපේක්ෂිත ඇපයක් ලබා දෙන ලෙස ඉල්ලා සැකකාර යුවළ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඇප අයැදුම්පතක් යොමු කර තිබුණ ද අධිකරණය මගින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිණි.

එම ඇප ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව තමන්ට අපේක්ෂිත ඇපයක් ලබා දෙන ලෙස ඉල්ලා එම යුවළ කොළඹ මහාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණ ද එම ඉල්ලීම ද ප්‍රතික්ෂේප විය.

දමිතා අබේරත්න යුවළ අත්අඩංගුවට ගැනීම සඳහා පියවර ගෙන ඇති නමුත් සිය නිවෙස් අතහැර ඔවුන් සැඟව සිටින බැවින් ඔවුන් රටින් පිටවීමේ අවදානමක් ද පවතින නිසා ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඔවුන්ගේ විදෙස් ගමන් ද අධිකරණය මගින් තහනම් කරීමට පියවර ගෙන තිබිණි.