ඉන්දියාවේ දිල්ලි​යේ ප්‍රධාන රෝහලකදී සාර්ථක වූ දෑත් බද්ධ කිරීමේ සැත්කමක් පිළිබඳව සුවිශේෂී කතාවක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අවාසනාවන්ත දුම්රිය අනතුරකින් 2020 වර්ෂයේදී  දෑත් අහිමි වූ  චිත්‍ර ශිල්පියෙක් හට මෙලෙස දෑත් බද්ධ කිරීම සිදුකර ඇති අතර ඔහු​ට දෑත් හිමිවන්නෙ සිය ශරීරාංග පරිත්‍යාග කළ කාන්තාවක් නිසාවෙනි.

එම කාන්තාවගේ වකුගඩු, අක්මාව සහ අක්ෂි කොටස් තවත් පුද්ගලයින් තිදෙනෙකු වෙත බද්ධ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සැත්කමට පැය 12ක් ගතවී ඇති අතර දිල්ලියේදී වෙනත් අයෙකුගේ දෑත් සාර්ථක ලෙස බද්ධ කිරීමේ ප්‍රථම සැත්කම මෙයයි.

45 හැවිරිදි වියේ පසුවන මෙම වාසනාවන්ත චිත්‍ර ශිල්පියාට නැවතත් දෑත් හිමිව තිබීමේ සම්පූර්ණ ගෞරවය අති දක්ෂ වෛද්‍යවරුන්ටත් සිය ශරීරාංග පරිත්‍යාග කළ කාන්තාවටත් හිමිවිය යුතුමය.

සැත්කම සාර්ථකව නිමවූ පසුව සමූහ ඡායාරූපය ගැනීමේදී චිත්‍ර ශිල්පියා සිය අලුත් දෑතේ මහපට ඇඟිලි ඉහළට ඔසවමින් ස්තූතිය පුදකළ අයුරු දැකගත හැකිවිය.