රටේ දූෂණ, වංචා සහ අල්ලස වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් දූෂණ විරෝධී පනත් කෙටුම්පත අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට අද (27) ඉදිරිපත් කර තිබේ.

පාලිමේන්තු ලේකම් ධම්මික දසනායක විසින් පනතේ වගන්ති සභාව හමුවේ ප්‍රකාශ කර ඇත.

අල්ලස් දූෂණ වැරදි සඳහා නඩු පැවරීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම, දූෂණ ක්‍රියා වැලැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම සහ දූෂණය නැති කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීම යනාදී කටයුතු වෙනුවෙන් විධිවිධාන සැලැස්වීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරෙන බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පවසා තිබේ.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඉදිරි දිනවල පැවැත්වීමට නියමිතය.