විදේශගත ශ්‍රමිකයින් නැවත ලංකාවට පැමිණීමේදී ගුවන්තොටුපොලේදී ලබාදෙන තීරු බදු සහනය ඉහළ නැංවීම මැයි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන බව කම්කරු සහ විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාර පවසා ඇත.

ඒ සදහා වන චක්‍රෙල්ඛය නිකුත් කර තිබෙන බවද ඇමතිවරයා අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.

ගුවන්තොටුපොලේදී මේ වන විට ලබාදෙන තීරුබදු සහනට අමතර විශේෂ තීරු බදු සහන විදේශ ගත ශ්‍රමිකයින්ට ලබාදෙන ලෙසට වන කැබිනට් පත්‍රිකාවක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර එයට කැබිනට් අනුමැතිය හිමිවිය. ඒ අනුව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් මෙම චක්‍රෙල්ඛය නිකුත් කර තිබේ.

මෙම චක්‍රෙල්ඛය අනුව නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට මුදල් එවන විදේශ ගත ශ්‍රමිකයින් ඉහළ නැංවූ තීරු බදු සහනය ලබාගැනීමට සුදුසුකම් ලබයි.

පසුගිය වසරේ මැයි පළමු වැනිදා සිට බැංකු ක්‍රමය හරහා එවනු ලැබූ මුදල් ප්‍රමාණය මේ සදහා සැලකිල්ලට ගනු ලබන අතර කාණ්ඩ පහක් යටතේ මෙම සහනය ලබාදේ.

ඇමරිකානු ඩොලර් 2400 – 4799 අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 600 ක්ද, ඩොලර් 4800 – 7199 අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 960 ක සහනයක්ද ලබාගැනීමට හැකිවේ.

ඩොලර් 7,200 – 11,999 අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 1,440ක අතිරේක තීරු බදු සහනයක් හිමිවේ.

ඩොලර් 12,000 – 23,999 අතර මුදල් ප්‍රමාණයක් එවා ඇති විදේශ ගත ශ්‍රමිකයින්ට ඩොලර් 2,400 ක සහනයක් ලබාගැනීමට හැකිය.

ඩොලර් 24,000 ක් හෝ ඊට වැඩි මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 4,800 ක අතිරේක තීරු බදු සහනයක් ලබාගැනීමට හැකිය.

නිර්මාණි ගුණරත්න