අද (08) අලුයම පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කර ඇත්තේ, අදාළ පුද්ගලයා ගුවන් හමුදා රග්බි සංචිතයට අනුයුක්තව සේවය කළ ගුවන් හමුදා කෝප්‍රල්වරයෙකු බවය.

අද අලුයම පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය අංගමුව ප්‍රදේශයේ රාත්‍රී මුර සංචාර කටයුතුවල නිරතව සිටිය දී පැමිණි  යතුරුපැදියකට නවත්වන ලෙස නියෝග කර ඇති අතර අදාළ පුද්ගලයා පොලිස් අණ නොතකා යතුරුපැදිය ධාවනය කර ඇති අතර ඔහු පොලීසිය දෙසට වෙඩි ප්‍රහාර කිහිපයක් ද එල්ල කර තිබේ.

එහිදී පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ආත්මආරක්ෂාව සඳහා වෙඩි තබා ඇති බව වාර්තා වේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා පාදුක්ක රෝහලට ඇතුළත් කර තිබේ.

පාදුක්ක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු පසුව මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

පොලීසිය පැවසුවේ, එම පුද්ගලයා ඊයේ (07) හොරණ තල්ගහවිල ප්‍රදේශයේ සිදුවු ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරු බවය.