හිටපු ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ පිළිබඳ ඔහුගේ අදහස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේය.

එහිදී වාස් ප්‍රකාශ කළේ වේගපන්දු යවන්නෙකුගේ කාර්යභාරය (workload) කළමනාකරණය කිරීම ඔවුන්ගේ දක්ෂතා සහතික කිරීමට, ආබාධ වළක්වා ගැනීමට සහ ඔවුන් දිගු කාලයක් ක්‍රීඩාවේ නිරතවීමට ඉතා වැදගත් බවයි.

“මගේ මතය අනුව, මතීෂ පතිරණ වැනි අද්විතීය ක්‍රීඩකයෙකු ක්‍රිකට්හි දීර්ඝ ආකෘතියකට ගෙනඒමට අප ඉක්මන් නොවිය යුතුයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

මතීෂ දුර්ලබ ගණයේ දක්ෂයෙක් බව ප්‍රකාශ කළ වාස්, ඔහුගේ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බුද්ධිමත්ව යොදාගත යුතු බවද සඳහන් කළේය.

මතීෂ පතිරණ දැනට සුදු පන්දුවෙන් පමණක් ක්‍රිකට් ක්‍රීඩා කළ යුතු බව චෙන්නායි සුපර් කිංග්ස් නායක එම්.එස්. දෝනි පසුගියදා කළ ප්‍රකාශයෙන් පසුව චමින්ද වාස් මෙම අදහස් පළ කළේය.

දෝණිගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ලසිත් මාලිංග ප්‍රකාශ කළේ මතීෂ පතිරණ රතු පන්දුවෙන්ද ක්‍රිකට් ක්‍රීඩා කළ යුතු බවත්, එය ඔහුගේ දස්කම් වැඩි දියුණු කර ගැනීමට උපකාරී වනු ඇති බවත්ය.

කවිඳු කාරියවසම්