වසර 75කට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු කලාපීය රටවලට දරුණු ජලගැලීම් ආපදා තත්ත්වයක් ඇතිවී තිබෙන අතර ඒ හේතුවෙන් ඕමාන් රාජ්‍යය තුළ පමණක් පුද්ගලයින් 18 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ.

වසර 75කට පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වාර්තාවූ උපරිම වර්ෂාපතනය මෙය වන අතර කලාපය ඔස්සේ හමාගිය ප්‍රබල සුළි කුණාටුවක් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු කලාපීය රට වලට අධික වර්ෂාපතනයක් බලපා තිබේ.

ඩුබායි ඇතුළු එමීර් රාජ්‍යය කලාප හතෙන්ම ජලගැලීම් වාර්තා වී තිබිණි.

සුප්‍රකට ඩුබායි සාප්පු සංකීර්ණය, එමිරේට්ස් සාප්පු සංකීර්ණයද ජලයෙන් යටවී තිබිණි.

එමෙන්ම එහි දියුණු උමං දුම්රිය ස්ථාන සහ මාර්ග පවා ජලයෙන් යටවී එමීර් රාජ්‍යයේ ජල අපවහන පද්ධතිවල ක්‍රියාකාරිත්වය පිළිබඳ ගැටලු මතුකොට ඇත .

ලොව වඩාත්ම කාර්යබහුල ගුවන්තොටුපොළක් ලෙස සැලකෙන ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළටද මෙම ජලගැලීම් හේතුවෙන් එහි කටයුතු සීමා කිරීමටත් තවත් ගමන් වාර රැසක් වෙනත් ගුවන් තොටුපොළ වෙත යොමුකිරීමටත් සිදුවුණි.

එමෙන්ම එමිරේට්ස්, ෆ්ලයි ඩුබායි ඇතුළු ගුවන් සේවා රැසක් ඩුබායි වෙත මෙහෙයුම් තාවකාලිකව නවත්වා තිබේ.

කෙසේ නමුත් ජල ගැලීම් මැද පවා ගුවන්ගමන් කිහිපයක් ක්‍රියාත්මක කළ බව වාර්තා වේ.