සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා අද (06) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය හමුවට රැගෙන එන ලදි.

ඒ අධිකරණය හමුවේ ප්‍රකාශයක් සිදුකිරීමට ඉඩ දෙන ලෙස පෙර නඩු වාරයේදී ඔහු කළ ඉල්ලීමකට අනුවයි.

ව්‍යාජ ප්‍රතිදේහ එන්නත් වංචාවට අදාළව පසුගිය 01වනදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා අත්අඩංගුවට ගෙන මලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

කෙසේ එම අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා විසින් මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ ප්‍රකාශ කර සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමන්ට ප්‍රකාශයක් සිදුකිරීමට ඇති බවයි. ඒ අනුව ඔහු විසින් සිදු කිරීමට අදාළ ප්‍රකාශය මාර්තු මස 4වනදා ලබාදෙන ලෙස ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළාය.

මහර බන්ධනාගාරයේ නිලධාරින් විසින් 04 වැනිදා සැකකරු යළි අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවද එදින සැකකරු විසින් කිසිදු ප්‍රකාශයක් ලබා නොදුන් බව වාර්තාවේ.

මහේස්ත්‍රාත්වරිය විසින් ඒ අනුව සැකකරු යළි අද දින අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස එහිදි නියෝග කෙරුණි.

ඒ අනුව අද පෙරවරුවේ මහර බන්ධනාගාරයේ නිලධාරින් විසින් සමන් රත්නායක මහතා අධිකරණය වෙත රැගෙන එනු ලැබුවේය.