ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත 20-20 ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කණ්ඩායම් උපනායක චරිත් අසලංකට පැවරීමට නියමිත බව වාර්තා වේ.

පසුගියදා ඇෆ්ගනිස්තාන පිල සමඟ පැවති 3 වැනි සහ අවසන් 20 – 20 තරඟයේදී ලින්ඩන් හැනිබල් ලබාදුන් තීන්දුවකට විරෝධය පළකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා 20 – 20 නිත්‍ය නායක වනිදු හසරංගට තරඟ දෙකක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය කටයුතු කර තිබීම මේ සඳහා මූලික වශයෙන් හේතුවී තිබේ.

වැඩි දුරටත් වාර්තාවන්නේ පළමු තරඟ දෙක සඳහා වනිදු වෙනුවට ජෙෆ්රි වැන්ඩසේ කණ්ඩායමට කැඳවීමට තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇති බවයි.

මේ අතරතුර ඇෆ්ගනිස්තාන තරඟාවලියේදී ආබාධයකට ලක්වූ පැතුම් නිස්සංක වෙනුවට බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තරඟාවලියේදී අවිශ්ක ප්‍රනාන්දුට කණ්ඩායමේ ස්ථානයක් හිමිවීමට නියමිත බව විශ්වාසන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.

තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකා – බංග්ලාදේශ 20 – 20 තරඟාවලිය මාර්තු මස 4 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වීමට නියමිතව ඇත.