රට විරුවන් ගැන ප්‍රශ්නයක් ඇසූවිට තොරතුරු නැත හෝ මහ බැංකුවෙන් විමසන්න කියන්නේ කෙසේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී යාදාමිණි ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි.

ලක්ෂ 12කට වඩා සිටින විදේශ රැකියා කරන ජනතාව පිලිබදව ඇසූ විට තොරතුරු නැත කියන්නේ නම් හෝ මහ බැංකුවෙන් විමසන්න කියන්නේ නම් ඒ වගකිව යුතු ආයතනවල රාජකාරිය කුමක්දැයි ද මන්ත්‍රීවරයා අද (24) පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

වම් අත කරන දේ දකුණු අත දන්නේ නැත්නම් විදේශ සංචිත වැඩිකර ගැනීමේ වැඩසටහන සාර්ථක කරගන්නේ කෙසේද යන්න ඔහු වැඩිදුරටත් එහිදී ප්‍රශ්න කර තිබේ.

යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ, විදේශ රැකියා කරන රට විරුවන් සම්බන්ධයෙන් ඔහු විදේශ රැකියා අමාත්‍යවරයාගෙන් විමසා තීබූ ප්‍රශ්නයකට විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර දුන් පිළිතුර පිළිබඳ ප්‍රතිචාර දක්වමිනි.

ඔහු එහෙදි වැඩිදුරටත් මෙසේද පවසා ඇත.

‘විශේෂයෙන් රටේ පවතින ආර්ථික වාතාවරණය හමුවේ ඉතාම වැදගත්ම ක්ෂේත්‍රයක් වන රටවිරුවන් සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නයට මම විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා, රාජ්‍ය අමාත්‍යතුමා පිළිතුරු දීමට නැඟී සිටීම සම්බන්ධයෙන්. නමුත් එම අමාත්‍යාංශය මේ පිළිතුරු මහ බැංකුවෙන් ලබා ගන්න කියලා කියන උත්තරය නම් පිළිගන්න බෑ. එක්කෝ මහ බැංකුවෙන් පිළිතුරු ලබා දීලා නැතුව ඇති අමාත්‍යාංශයට. නැත්තම් අමාත්‍යාංශය ගාව මේ තොරතුරු නැතුව ඇති. වම් අත කරන දේ දකුණු අත දන්නේ නැතුව කොහොමද මේ විදේශ සංචිත වැඩ් කර ගන්න වැඩසටහනට යන්නේ. සරල ප්‍රශ්න පෙළක් අසලා තියෙන්නේ. මේ ප්‍රශ්නය මම නැවත ඉල්ලා සිටිනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අමාත්‍යාංශය හෝ ඔය කියන මහ බැංකුවට හෝ යොමු කරලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට අපි අහන ප්‍රශ්නවලට පිළිතුරු එවන්න. නැත නැත කියලා පිළිතුරු එවන්න බෑනේ. ලක්ෂ 12කට වඩා ඉන්නවා පිටරට ගිහිල්ලා රැකි රක්ෂාවල නියැලෙන. ඔවුන් ගැන පිළිතුරු නැහැයි කියලා එවලා තියෙනවා. මහ බැංකුවෙන් විමසන්න කියනවා. මහ බැංකුවෙන් විමසන්න ඕනේ නම් ඒ අමාත්‍යාංශය හෝ ඒ ආයතනවල මොකක්ද රාජකාරිය? මේ විදිහට මේ සභාව නොමඟ යවන පිළිතුරු ලබා දෙන්න ඉඩ දෙන්න එපා.’