වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය කාන්තාවගේ සිද්ධිය පිළිබඳ, නීතියට පිටින් කිසිවක් සිදුකිරීමට ඉඩක් ලැබෙන්නේ නැහැ යැයි අගමැති දිනේෂ් ගුණවර්ධන අද (24) පාර්ලිමේන්තුවේදී පවසිය.

එම මරණය සැක සහිත බවත්, එම මෘත දේහය නැවත ගොඩගෙන ස්වාධින පරීක්ෂණයක් සිදුකරන ලෙසත් මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා මෙසේ ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් මෙසේද පැවසිය.

“මනෝ ගනේෂන් මන්ත්‍රීතුමනි, ඔබතුමා නගපු කාරණය අපි දුරකතනයෙන් දැනුම් දුන්නා. නීතියට පිට ඒකට ඉඩකඩක් ලැබෙන්නේ නෑ. ඔබතුමාගේ කරුණු ටික යවලා තියෙන්නේ අවශ්‍ය කටයුතුවලට ”

වැලිකඩ ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවකගේ නිවසේ මෙහෙකාරියක ලෙස සේවය කරමින් සිටියදී එම නිවසේ රන් ආභරණ අස්ථානගත වීමක් සම්බන්ධයෙන් ටෙලිනාට්‍ය නිෂ්පාදිකා සුධර්මා නෙත්තිකුමාර විසින් කරන ලද පැමිණිල්ලක් මත මෙම කාන්තාව වැලිකඩ පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබිණි.

ඉකුත් 11 වන දා ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, තව ත් නිවසක සේවය කරමින් සිටියදී ය.

වැලිකඩ පොලිසිය ඇගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර ඒ මොහොතේ ඇය අසනීප වීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී මියගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීමෙන් විමර්ශනයක් ආරම්භ කොට මෙහෙකාරිය අත්අඩංගුවට ගත් මොහොතේ රාජකාරි කළ නිලධාරීන්ගෙන් ප්‍රකාශ පවා සටහන් කර ගෙන ඇත.

පසුව මේ බව පොලිස්පතිවරයා දැනුවත් වීමෙන් පසු ඔහුගේ නියෝග මත පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මගින් පුළුල් විමර්ශනයක් ද ආරම්භ කෙරිණි.