රටේ දූෂණ විරෝධි ක්‍රියාවලිය හරියාකාරව ක්‍රියාත්මක වුවහොත් ආයෝජකයන්ට රට ගැන විශ්වාසයක් ඇතිවන බවත් එසේ වුවහොත් රටට සෘජු විදේශ ආයෝජනය ලැබෙන බවත් වසර දෙකකින් සෘජු විදේශ ආයෝජන කිසිවක් ලැබී නැති බවත් සෘජු විදේශ ආයෝජන නැතිව ලංකාවට දියුණු වීමට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් පවසයි. දුෂණ විරෝධි යාන්ත්‍රණය හරියාකාරව ක්‍රියාත්මක කර සෘජු විදේශ ආයෝජන වැඩි කර අපනයන ආදායම වැඩි කර අලුත් වෙළඳපොලවල් තුළට ඇතුළු වී ඩොලර් ආදායම වැඩි කර ගැනීමෙන් ඩොලරයේ ඉහළ යාම පාලනය කර ගත හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අද (18) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මේ බව සඳහන් කළේය.

එහිදි අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

‘‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාරිකය පිළිබඳව රජය විවිධ කතා කියනවා. ඒ අතර ජාත්‍යන්තර බැදුම්කර හිමියන් සමඟ සකච්ඡා කරලා එකඟතාවයකට පැමිණියා කියලත් රජය කියනවා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය තවම ප්‍රමාදයි. ඒ වගේම ජාත්‍යන්තර බැදුම්කර හිමියන් ඔවුන්ගේ පොලී අනුපාතයන් අඩු කරන්න එකඟවෙලා රජයට කොන්දේසි කිහිපයක් පනවලා තිබෙනවා. දූෂණය සහ නාස්තිය පිටුදැකීම සඳහා පිලිගත් වේගවත් යාන්ත්‍රණයක් නිර්මාණය කරන්න කියලා කොන්දේසියක් ජාත්‍යන්තර බැදුම්කර හිමියන් විසින් පනවලා තිබෙනවා. කෙසේ නමුත් මේ කොන්දේසිවලට ආණ්ඩුව එකඟනොවුන නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ඇතුළු ණය ප්‍රතිව්‍යුහගතකරණය මේ වනවිට ප්‍රමාද වලා තිබෙනවා. දූෂණය පිටු දැකීම සඳහා වූ ස්ථිර ක්‍රමවේදයක් සහිත වැඩපිළිවෙළකට ආණ්ඩුව බය වෙන්නේ වර්තමාන ආණ්ඩුවත් ඉතාම දූෂිත ආණ්ඩුවක් නිසයි.

ආණ්ඩුව පසුගිය කාලයේදී තෙල් මිලදී ගැනිම් වලදී හදිසි මිලදී ගැනිම් සිදුකළා. ගැස් මිලදී ගැනීමේදි හදිසි මිලදී ගැනිම් සිදුකළා. ප්‍රමිතියෙන් තොර පොහොර නැව් ගෙනාවා. ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙනාවා.

2022 දී මාස 7 ක් ගෑස් වැඩි මිලට මිලදී අරගෙන තිබෙන බව විගණන වාර්තාකින් අනාවරණය වෙලා තිබෙනවා. සියාම් ගෑස් සමාගමෙන් ගෑස් මෙට්ට්‍රික්ටොන් එකක් ඩොලර් 96 ට ලබාගන්න හැකියාව තිබියදී ඕමාන් ට්‍රේඩින් සමාගමෙන් වැඩි මිලට ගෑස් මිලදී ගෙන තිබෙනවා. ඕමාන් ට්‍රේඩින් සමාගමෙන් ගෑස් මෙට්ට්‍රික්ටොන් එකක් ඩොලර් 118.23 කට මිලදී ගෙන තිබෙනවා. ගෑස් මෙට්ට්‍රික්ටොන් 14,783 ක් ඕමාන් ට්‍රේඩින් සමාගම හරහා ගෙන්වීමෙන් කෝටි 114 ක් පාඩු වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්ද යොමු කරලා තිබෙනවා. මෙවැනි ගණුදෙනුවක් සිදුවෙන්න යන බව කෝප් කමිටු සභාපතිවරයාට දෙවතාවක් මම දැනුම් දිලා තිබෙනවා.

වර්තමාන ආණ්ඩුව රාජපක්ෂ ආණ්ඩුව වගේම දූෂිත ආණ්ඩුවක්. ඒ නිසා තමයි ජාත්‍යන්තර බැදුම්කරහිමියන් යෝජනා කරන දූෂණ විරෝධි කොන්දේසිවලට රජය එකඟතාවය දක්වන්නේ නැත්තේ. රටේ රාජ්‍ය සම්පත් විකුණලා ආදායම් හොයන්න ඕනි නෑ. දූෂණ විරෝධි ක්‍රියාවලිය හරියාකාරව ක්‍රියාත්මක කළොත් ආයෝජකයන්ට රට ගැන විශ්වාසයක් ඇතිවෙනවා. එහෙම වුණොත් රටට සෘජු විදේශ ආයෝජනය ලැබෙනවා. වසර දෙකක් සෘජු විදේශ ආයෝජන කිසිවක් ලැබිලා නෑ. සෘජු විදේශ ආයෝජන නැතිව ලංකාවට දියුණු වෙන්න බෑ.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇඟලුම් කර්මාන්තශාලා ඇතිකරන යුගයේදී වියට්නාමයේ සහ ලංකාවේ ආර්ථිකය එක මට්ටමක තිබුණේ. වියට්නාමය වේගයෙන් දියුණු වෙලා පසුගිය වසරේදී ඩොලර් මිලියන 35,000 ක සෘජු විදේශ ආයෝජන වියට්නාමයට ඇවිල්ලා තිබෙනවා. ආණ්ඩුවට බදු වැඩි කරලා රට පාලනය කරන්න බෑ. සෘජු විදේශ ආයෝජනය සහ අපනයන වෙළඳාම වැඩිකරලා අලුත් වෙළඳපොලවල් තුළට ඇතුළු වෙන්න ඕන.

අපනයනය වෙළඳපොල වැඩි කරලා අලුත් වෙළඳපොලවල් තුළට ඇතුලත් වෙන්න නම් අනයනය වැඩි කරන්න සිදුවෙනවා. ආනයනය කරලා ඩොලර් සංචිතය රැක ගන්න විදේශ ආයෝජන වැඩි කරන්න සිදු වෙනවා. සෘජු විදේශ ආයෝජන ගෙන්න දූෂණය නාස්තිය පිටු දකින ස්ථිර ක්‍රමවත් වැඩපිළීවෙළක් අවශ්‍ය වෙනවා. නමුත් වර්තමාන ආණ්ඩුව දූෂණය නාස්තිය පිටු දකින්න වැඩපිළිවෙළක් සකස් කරන බවත් පෙනෙන්නට නෑ. ඒ වගේම දුෂණය නාස්තිය වර්තමාන ආණ්ඩුව තුළ සිදුවන බවක් පෙනෙන්නට තිබෙනවා.” බවයි