ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දා කැඳවූ සර්ව පාක්ෂික සාකච්ඡාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ආරාධනා නොකළ බව එම අරමුදලේ නියෝජිතයන් ජාතික ජන බලවේගයේ නියෝජිතයන් හමුවේ පැවසූ බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති පැවසීය.

මෙම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පමණක් සහභාගි වූ අතර එම සාකච්ඡාව සම්බන්ධ මාතෘකාවේදී ජනාධිපතිවරයා දේශපාලන පක්ෂ නොමඟ යැවූ බව පැහැදිලි යැයිද ඔහු පැවසීය.

ජනවරමක් නැති දූෂිත ආණ්ඩුවක් සමග කටයුතු කර ආර්ථික අර්බුදය විසඳන්නට හැකි ද යන කාරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් සමග සාකච්ඡා කළ බව හඳුන්නෙත්ති මහතා පැවසීය. මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ජාතික ජන බලවේගය අතර කොළඹදී පැවති සාකච්ඡාවකින්(14) අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සුනිල් හඳුන්නෙත්ති මේ බව සඳහන් කළේ ය.

පාර්ලිමේන්තුව සතු මූල්‍ය පාලන බලය ක්‍රියාත්මක කරන කෝප් කමිටුවේ සභාපති ධූරයට රෝහිත අබේගුණවර්ධන වැනි මන්ත්‍රීවරයෙකු පත් කර ආණ්ඩුව පෙන්වන ආදර්ශය ගැන ද තමන් මූල්‍ය අරමුදලට කරුණු ඉදිරිපත් කළ බව හඳුන්නෙත්ති පැවසීය.

රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට නම් ජන වරමක් සහිත ආණ්ඩුවක අවශ්‍යතාව පෙන්වා දුන් බව කී හඳුන්නෙත්ති, ණය ප්‍රතිව්‍යුහගතකරණයේ වත්මන් තත්ත්වය ගැන ද එහිදී සාකච්ඡා කෙරුණු බව සඳහන් කළේය. මූල්‍ය අරමුදලේ යෝජනා ගැන සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා කැඳවූ විපක්ෂයේ පක්ෂ අතර සාකච්ඡාවට මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට ආරාධනා කර නැති බව හෙළිදරව් වී යැයි ද ඔහු වැඩිදුරටත් කීය.