වී මිලදි ගැනීම සදහා දිස්ත්‍රික්ක 9කට අයත් ගබඩා 12 ක් අද විවෘත කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව වී මිල දී ගැනීම සඳහා හම්බන්තොට, මොණරාගල, අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව, කුරුණෑගල, වව්නියාව, කිලිනොච්චිය හා අනුරාධපුර යන දිස්ත්‍රික්ක 09හි වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 12ක් විවෘත කෙරෙනවා.

කච්චිගල් ආර, වීරවිල, දෙහිගහලන්ද, යෝධකන්ඩිය, අළුත්වැව, වීරගොඩ, සූරංගල්, මනල්පෙඩ්ඩි, නිකවැරටිය 02, කිලිනොච්චිය, පාර්ක් රෝඩ්, කිලිනොච්චිය ආර්ථික මධ්‍යස්ථානය හා නොච්චියාගම වී ගබඩා එලෙස විවෘත කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ.

වී මිලදි ගැනිම සදහා  තවත් ගබඩා 100ක් සූදානම් කර තබන බව​ත් මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 500ක මුදලක් ලබා දී ඇති බවත් එය සිදුකළේ  කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ  කළ ඉල්ලීමකට බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ.

ඒ අනුව මේ වනවිට මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය සතුව රුපියල් මිලියන 600ක මුදලක් සතු වනවා.

මේ වනවිට වී අලෙවි මණ්ඩලයේ ගබඩා සඳහා වී මිල දී ගැනීමට හැකි වී තිබෙන්නේ දකුණු කළාපයෙන් පමණයි.

ඒ අනුව වී කිලෝග්‍රෑම් 75,000ක් ගත වූ දින හතර ඇතුළත මිල දී ගැනීමට හැකි වී ඇති අතර එම වී තොගයම රතු කැකුළු වීම විශේෂත්වයක්.