මුහුදුකරයට සීමා වී තිබෙන සංචාරක ව්‍යාපාරය රට තුළට ගෙන ඒමෙන් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ගාල්ල, හෝලුවාගොඩ ඉදි කළ ‘සෙරින් රිවර් පාර්ක්’ පාරිසරික උද්‍යානය ඊයේ (මාර්තු 13) පස්වරුවේ ජනතා අයිතියට පවරා දීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමිනි.

2021 වසරේදී ඉදිකිරීම් ඇරඹූණු මෙම උද්‍යානය අක්කර 14ක විශාලත්වයකින් යුතු පුරන් වූ කෙත් යායක ඉදිකර තිබේ.

කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ සැලසුම් නාගරික සංවර්ධන අධිකාරිය මගින් සකස් කර ඇති අතර ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව මගින් ඉදිකිරීම් කටයුතු සිදුකර ඇත.

ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 440කි. වැවක්, ඇවිදින මංතීරු, යකඩ පාලම්, ළමා උද්‍යාන, වෙළෙඳ කුටි, පරිසර පද්ධති ආදියෙන් මෙම උද්‍යානය සමන්විත වන අතර ඒ සඳහා විදුලිය ලබා දීම සූර්ය බලශක්තියෙන් සිදු කෙරේ.

ප්‍රදේශයේ ජනතාවගේ කෘෂිකාර්මික භෝග හා අනෙකුත් නිෂ්පාදන අලෙවි කිරීමේ වැඩපිළිවෙක්ද මේ හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත ය. ඉදිරියේදී සංචාරක කර්මාන්තය මූලික කර ගනිමින් මෙම උද්‍යානයේ සිට වක්වැල්ල, වටරැක හා ගාල්ල දක්වා බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කිරීමට ද නියමිත ය.

එමෙන් ම, දශක ගණනාවක සිට හෝලුවාගොඩ, ඕපාත ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ගංවතුර තත්ත්වය පාලනය කිරීම ද මෙම උද්‍යානය මගින් සිදුවේ.

මෙම පරිසර උද්‍යානය ඉදිකිරීමේ කටයුතු සාර්ථක කර ගැනීමට දායක වූවන්ට තිළිණ පත් ප්‍රදානය කිරීම ද මෙහිදි ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ,

“මෙම ව්‍යාපෘතිය ආර්ථිකය දියුණු කරන වැඩසටහනක්. අප දැන් අවධානය යොමු කළ යුත්තේ මෙවැනි වැඩසටහන් පිළිබඳවයි. අද ගාල්ල ප්‍රධාන සංචාරයක ප්‍රදේශයක් බවට පත්ව තිබෙනවා. එය අප තවත් දියුණු කළ යුතුයි. මේ තුළින් මෙම ප්‍රදේශවල ජනතාවට විශාල ආදායමක් ලබාගත හැකියි.

සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා වගේ ම අප පරිසරය ආරක්ෂා කරගත යුතුයි. මෙවැනි උද්‍යාන ආරක්ෂා කිරීම වෙනුවෙන් වෙන ම පනත් කෙටුම්පතක් සම්මත කිරීමටත් බලාපොරොත්තු වෙනවා. නැතිනම් විවිධ ගොඩනැගිලි ඉදිකරමින් මෙම පරිසර උද්‍යානයේ අලංකාරය නැති කිරිමට පුද්ගලයන් කටයුතු කරනවා.

අප සංචාරක ව්‍යාපාරය දියුණු කිරිමේදී එහි සුවිශේෂී ස්ථානයක් දකුණු පළාතට හිමි වෙනවා. ගාලු කොටුවේ තිබෙන සියලු රජයේ කාර්යල එයින් ඉවත් කර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙනුවෙන් ලබා දීමට අප කටයුතු කරනවා. ඒ වගේ ම මහමෝදර, ගාල්ල බන්ධනාගාරය පැවති ස්ථාන සංචාරක කලාපයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල මෙරට ප්‍රධාන සංචාරක නගරය බවට පත් වෙනවා.

සංචාරක ව්‍යාපාරය රටට ඉක්මනින් ආදායම් උපයා දෙන ක්ෂේත්‍රයක්. මුහුදු සීමාව තුළ පවතින සංචාරක ව්‍යාපාරය රට තුළට ගෙන ඒමට මෙවැනි ව්‍යාපෘති මහත් රුකුලක් වෙනවා. මුහුදුකරයට පමණක් සංචාරක ව්‍යාපාරය සීමා විය යුතු නැහැ. අපි රටට සංචාරකයන් වැඩි ගණනක් ගෙන්වා ගැනීමට මෙන් ම වැඩි මුදලක් වියදම් කරන සංචාරකයන් ද ගෙන්වා ගැනීමට කටයුතු කළයුතුයි.

රටේ කඩා වැටුණු ආර්ථිකය නැවත ගොඩනැඟීමට හැකිවනු ඇතැයි කිසිවෙකු සිතුවේ නැහැ. වසර දෙකකට පෙර ඉන්ධන තිබුණේ නැහැ. පොහොර, ඖෂධ තිබුණේ නැහැ. අද ඒ සියල්ල තිබෙනවා. ඒ වගේ ම ජනතාව මුදල් උපයනවා.

ඒ වගේ ම කුරුඳු වගාව පිළිබඳ අප අවධානය යොමු කළ යුතුයි. තේ බෝගයට සුදුසු තැන් වල තේ වගා කර අනෙක් ස්ථානවල කුරුඳු වගා කිරීමෙන් ඉහළ ආදායමක් උපයාගත හැකියි. එමෙන් ම තාක්ෂණ අධ්‍යාපනය ලබා දෙන ආයතන මේ ප්‍රදේශවලට ගෙන ඒමට අප සැලසුම් කර තිබෙනවා. මෙම කටයුතු සමග ගාල්ල විශාල දියුණුවකට ලක්වනු ඇතැයි අප විශ්වාස කරනවා.”