ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු අවසන් වන තෙක් කිසිදු මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාවක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇමැති මණ්ඩලය හා මැතිවරණ කොමිසම දැනුවත් කර ඇති බව වාර්තා වේ.

රට ආර්ථික වශයෙන් ඉදිරියට යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉතා වැදගත් බැවින් ප්‍රමුඛතාවය දිය යුත්තේ එම වැඩසටහනට බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත. අමාත්‍ය මණ්ඩලය සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් වෙන වෙනම හමුවූ අවස්ථාවලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර ඇති බවටයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ජූලි මාසයේ අග වන තෙක් ක්‍රියාත්මක බැවින් ඊට පෙර කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙනු ඇතැයි ජනාධිපතිවරයා එහි​දී කියා ඇත.

ජනාධිපතිවරණය පැවැත්විය යුතු කාලය ව්‍යවස්ථානුකූලව එළඹෙන්නේ IMF ක්‍රියාවලියට පසුව වන හෙයින් ජනපතිවරණය පැවැත්වීම IMF වැඩසටහනට බාධාවක් නොවන බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා ඒ අනුව රජය මැතිවරණ සිතියම සැලසුම් කර තිබෙන බව ප්‍රකාශ කර ඇ​ත.

එහෙයින් මුලින්ම ජනාධිපතිවරණයට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලය මෙන්ම මැතිවරණ කොමිසමේ නිලධාරීන් දැනුම්වත් කොට ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.