විදුලි ගාස්තු 10%ත් 20%ත් අතර පරාසයකින් අඩු කිරීමේ හැකියාව පවතින බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
ඒ අනුව, විදුලි ගාස්තු අඩු කළ නොහැකි බවට විදුලිබල මණ්ඩලය කළ යෝජනාවට ප්‍රතියෝජනාවක් එම කොමිසම ප්‍රකාශයට පත් කර තිබෙන අතර, ඒ සඳහා ලිඛිත අදහස් ඉදිරිපත් කිරීමට මහජනතාවට අද සිට අවස්ථාව ලබාදී ඇත.
වසරකට සිව්වරක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ ප්‍රතිපත්තිය අනුව මේ වසරේ අවස්ථා දෙකකදී විදුලි ගාස්තු සංශෝධනය කෙරුණු අතර ඒ මාර්තු මාසයේ 21.9%ක් ලෙස හා ජූලි මාසයේ 22.5%ක් ලෙසයි.
මෙම වසරේ සිදු කළ යුතු තුන්වැනි විදුලි ගාස්තු සංශෝධනය වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය සිය යෝජනා ඉකුත් ඔක්තෝබර් මස අගදී මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කර තිබුණි. එමගින් විදුලි ගාස්තුව 6%ත් 11%ත් අතර ප්‍රතිශතයකින් පහළ දැමීමට ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබුණත් මහජන උපයෝගීතා කොමිෂන් සභාව එම යෝජනාවලිය පිළිගෙන නැත.
එම යෝජනාවලියට පාදක කර ගත් ක්‍රමවේදය සම්බන්ධ දෝෂ කිහිපයක් ඇති අතර, පවතින තත්ත්වය අනුව ඊට වඩා වැඩි ප්‍රතිශතයකින් විදුලි ගාස්තු අඩු කළ හැකි බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසන්නේ.
එවන් පසුබිමක ලංකා විදුලි බල මණ්ඩලයේ නව විදුලි ගාස්තු සංශෝධන යෝජනාව ඉකුත් 6 වැනිදා මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කර තිබූ නමුත් මින් පෙර දක්වා තිබූ විදුලි ගාස්තු අඩු කිරීම එම යෝජනාවලියෙන් ඉවත් කර ඇත.
විදුලිබල මණ්ඩලය එමගින් දක්වා ඇත්තේ පවතින විදුලි ගාස්තුව, සංශෝධනයකින් තොරව ඉදිරි මාස 6ක කාලය සඳහා ද පවත්වාගෙන යා යුතු බවයි.
කෙසේ වෙතත් පවතින තත්ත්වය යටතේ විදුලි ගාස්තුව සියයට 10ත් 20ත් අතර පරාසයකින් පහළ දැමීමේ හැකියාව පවතින බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
ඒ අනුව, විදුලි ගාස්තු අඩු කළ නොහැකි බවට විදුලිබල මණ්ඩලය කළ යෝජනාවට ප්‍රතියෝජනාවක් එම කොමිසම ප්‍රකාශයට පත් කර තිබෙන අතර ඒ සඳහා ලිඛිත අදහස් ඉදිරිපත් කිරීමට ජනතාවට අද සිට අවස්ථාව ලබාදී ඇත.