ජනතා අයිතියට පත් කෙරුණු උමාඔය බහු කාර්ය ව්‍යාපෘතිය මගින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ඒකක ප්‍රමාණයක් එක් කෙරුණු බැවින් ජුලි මාසයේ දී සිදු කිරීමට බලාපොරොත්තු වන විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව විදුලි පාරිභෝගිකයන්ට එම වාසිය ලබා දීමට හැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ උමා ඔය ව්‍යාපෘතිය 2017 වසරේ දී ජනතා අයිතියට පත් කිරීමට තිබුණත්, එය සිදු කිරීමට නොහැකි වීමෙන් වාර්ෂිකව රුපියල් කෝටි 900ක පාඩුවක් ලංකා විදුලි බල මණ්ඩලයට සහ රටට සිදු වූ බවයි.

කෙසේ නමුත් උමාඔය ව්‍යාපෘතිය හරහා ජාතික පද්ධතියට අලුතෙන් එකතු වූ විදුලි ඒකක ප්‍රමාණය නිසා, මින් පෙර ඉන්ධන භාවිතයෙන් විදුලි උත්පාදනය සඳහා වූ වියදම සිදු නොවන බැවින් එහි වාසිය විදුලි පාරිභෝගිකයන්ට දිය හැකි බවයි අමාත්‍යවරයා පැවසුවේ.