විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට සහ රණවිරු පවුල්වල සාමාජිකයින්ට විදේශ රැකියා ලබාදීමේ වැඩසටහන ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබේ.

මේ පිළිබඳව දැනුවත් කිරීමේ රැස්වීමක් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊ​යේ (05) එම කාර්යාලයේදී පැවැත්විණි.

විදේශ රාජ්‍යයන් වෙතින් ශ්‍රී ලංකා රජය වෙත ලැබෙන විදේශ රැකියා ප්‍රමාණයෙන් යම් කොටසක් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත ලබාදීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

මෙම රැස්වීමේදී මෙහි පළමු අදියර ලෙස ඊශ්‍රායල් රාජ්‍යය වෙත ඉදිකිරිම් අංශයේ වෘත්තීන් කිහිපයක් වෙත මෙම රැකියා ප්‍රමාණය ලබාදීමට කටයුතු සිදුකරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ නියෝජිතයින් විසින්  ප්‍රකාශ කර ඇති බව සදහන් වේ.

එසේම, විදේශගතවන්නන්ට රජයේ බැංකු හරහා සහනදායී පොලී ශේෂයක් යටතේ ණය පහසුකම් ලබාදීමට ද, කටයුතු සුදානම් කරන බවත්, යුද හමුදාව වෙතින් මේවන විට 67 දෙනෙකු මෙම රැකියා සඳහා පිටත් කිරීමට හඳුනාගෙන ඇති බවත්, නාවික හමුදාව සහ ගුවන් හමුදාව වෙතින් ද නාමයෝජනා ඉදිරිපත් කරන ලෙසද, පැමිණි සිටි හමුදා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

තවද, මේ සඳහා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා වයස අවුරුදු 44ට අඩු සාමාජිකයින් තෝරා ගනු ලබන අතර,ඒ අයවලුන් හට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය හරහා කෙටි පුහුණුවක් ලබාදීමටත්, ඔවුන් විසින් සිදුකරනු ලබන පරීක්‍ෂණයකට මුහුණ දීමටත් සිදුවන බව දක්වා ඇත.

මෙම සාකච්ඡාව සඳහා ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ නියෝජිතයින් පිරිසක් සහභාගී වී ඇත.