අමෙරිකාවේ මිචිගන් ප්‍රදේශයේ පාස​ල් සිසු සිසුවියන්  සිව් දෙනෙක්ව වෙඩි තබා ඝාතනය කළ සිසුවෙකුගේ මව්පියන් ව වසර 10ත් 15ත් අතර කාලයක් සඳහා සිරගත කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඔවුන් දෙදෙනාගේ දඬුවම වසර 7ක් දක්වා අඩු කරන ලෙස නිර්දේශ කර තිබුණ ද එම දඬුවම් අඩු නොකරන ලෙස රජයේ නීතිඥයින් ඉල්ලා ඇති බව සඳහන් ය.

ඒ අනුව අමෙරිකාවේ පාසල් තුවක්කුකරුවෙකුගේ දෙමව්පියන්ට දඬුවම් ලබා දෙන පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වෙයි.

ජේම්ස් සහ ජෙනිෆර් ක්‍රම්ලි අද (10) පළමු වරට අධිකරණය හමුවේ පෙනී සිටි අතර තම පුතා සිදුකළ අපරාධය සම්බන්ධයෙන් ඔවුන් සිය කනගාටුව ප්‍රකාශ කළේය.

එවකට 15 හැවිරිදි වියේ පසුවූ ඊතන් ක්‍රම්ලි 2021 වසරේදී ඔක්ස්ෆර්ඩ් උසස් විද්‍යාලයේදී සිය සහෝදර සිසු සිසුවියන් ඉලක්ක කර එම වෙඩි තැබීම සිදුකර තිබුණි.

ඉන් සිව් දෙනෙක් මියගොස් තවත් 7 දෙනෙක් තුවාල ලැබීය.

සිය පුතා ගේ මානසික ආබාධය සම්බන්ධයෙන් නිසි ක්‍රියා නොගැනීමත් ඔහුට තුවක්කුවක් මිලදී ගෙන දීමත් ඊතන් ක්‍රම්ලි ගේ දෙමව්පියන් ට එල්ලවූ ප්‍රධාන චෝදනා වෙයි.

ඊතන් ක්‍රම්ලි මේ වනවිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳියි.