බ්‍රිතාන්‍යයේ රජ පවුල සම්බන්ධයෙන් මේ වනවිට ලොව පුරා දැඩි කතාබහක් ඇතිව ඇත.

ඊට හේතුව වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරුගේ බිරිඳ වන වේල්සයේ කුමරිය හෙවත් කේට් මිඩ්ල්ටන්ගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විමත් සමගයි.

කේට් කුමරිය හදිසියේ ශල්‍ය කර්මයකට භාජනයවීම හේතුවෙන් මාසයකට වැඩි කාලයක් පුරා ඇය ප්‍රසිද්ධියේ පෙනී නොසිටි අතර ඇය උදරය ආශ්‍රිත ශල්‍යකර්මයකට භාජනය කර ඇති බව හැරෙන්නට එහි කිසිදු තොරතුරක් බ්‍රිතාන්‍ය රජ පවුල විසින් ජනමාධ්‍යයට නිකුත් නොකිරිමට කටයුතු කලේය.

එවන් පසුබිමක් තුළ ඉකුත් දා යෙදී තිබුණු බ්‍රිතාන්‍යයේ මව්වරුන්ගේ දිනය වෙනුවෙන් කේට් මිඩ්ල්ටන් කුමරිය සිය දරුවන් තිදෙනා වන ජෝර්ජ් කුමරු, චාලට් කුමරිය සහ ලුවිස් කුමරු සමග සිටිනා ඡායාරූපයක් කෙන්සිංටන් මාලිගය විසින් නිකුත් කර තිබෙනු දක්නට ලැබුණි. ඒ ‍‍‍ඡායාරූපය විලියම් කුමරු විසින් ලබාගන්නා ලද එකක් බවට ද වාර්තා පළවිය.

කේට් මිඩ්ල්ටන් කුමරිය දිගු කලක් නිහඬව සිටීම හේතුවෙන් අදාළ ‍ඡායාරූපය ලොව පුරා ප්‍රසිද්ධියට ලක්වූ අතර ලොව ප්‍රමුඛ පෙළේ විදෙස් ජනමාධ්‍ය රැසක් විසින් එම ‍ඡායාරූපය ප්‍රසිද්ධියට පත්කරන ලදී.

නමුත් එවන් තත්ත්වයක් තුළ ලොව පලමු පෙළේ ජනමාධ්‍ය ආයතන කිහිපයක් එම ‍‍‍‍ඡායාරූපය ඉවත්කර ගෙන තිබුණේ අදාළ ‍ඡායාරූපය සංස්කරණය කරන ලද්දක් බව පවසමිනි.

ඒ සමග එම ‍ඡායාරූපය සම්බන්ධයෙන් ලොව පුරා දැඩි කතාබහක් හට ගැණුනි.

‍ඡායාරූපය සංස්කරණය කර ඇති බවට සැකකෙරෙන ස්ථාන 02 ක් ද ඇතැම් විදෙස් ජනමාධ්‍ය මගින් රතු පැහැයෙන් රවුම් කර දක්වා තිබිණි.
ඒ අතර චාලට් කුමරියගේ වම් අතේ මැණික් කටුව ආසන්න ප්‍රදේශය සහ කේට් කුමරිය හැඳ සිටින ජැකට්ටුවේ වම් පැත්තේ කොටසක් විය.

කෙසේවෙතත් ‍‍‍ඡායාරූපය සම්බන්ධයෙන් වන කතිකාවත දීර්ඝ වශයෙන් පැතිර යද්දී කේට් මිඩ්ල්ටන් කුමරිය ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇත.

ඒ අනුව, ඇය පැවැසුවේ අදාළ ‍ඡායාරූපය තමන් විසින් සංස්කරණය කර ඇති බව හා ඒ සම්බන්ධයෙන් තමන් වගකීම භාරගන්නා බවයි. ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍යයෙන් සමාව අයැද සිටින බව ද ඇය පවසා ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කර ඇත.

“බොහෝ ආධුනික ඡායාරූප ශිල්පීන් මෙන්, මම ඉඳහිට සංස්කරණය කිරීම අත්හදා බලමි. ඊයේ අප නිකුත් කළ පවුලේ ඡායාරූපය නිසා ඇති වූ කිසියම් ව්‍යාකූලත්වයක් සඳහා සමාව අයැදීමට මට අවශ්‍ය විය.” යනුවෙන් ඇය සිය X ගිණුමේ සටහනක් තබමින් කියා ඇත.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් බොහෝ පාර්ශව දැඩි විරෝධයක් එල්ල කළ අතර රජ පවුලේ එවැනි ක්‍රියා පිළිකුලෙන් හෙළාදකින බවයි විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ.