කාන්තාව ශක්තිමත් කාන්තාව කියන රාමුවෙන් එළියට පැමිණ බලවත් කාන්තාවක් විය යුතු බවත් බලවත් කාන්තාවගේ අරමුණ විය යුත්තේ ශක්තිමත් කාන්තාවන්ට සහාය ලබාදී ඔවුන්වත් බලවත් කාන්තාවන් බවට පත්කිරීම බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

අද (08) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ බව සඳහන් කළාය.

හිටපු පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරල , කොළඹ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී උමා චන්ද්‍ර ප්‍රකාශ්, නීතිඥ ආශා කහවත්ත, කැස්බෑව නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී සුජීවා හරිෂ්චන්ද සහ සමගි ජන බලවේගයේ කැකිරාව ආසන කළමණාකරණ ප්‍රියංසලා වාසලවැව යන අ​ය මෙම මාධ්‍ය හමුවට සහභාගි විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙ​සේ පැවසීය.

‘‘ මෙවර කාන්තා දිනයේ තේමාව වන්නේ ඇයට ශක්තිය දැයට ප්‍රගතිය. කාන්තාවන්ට ආයෝජනය කරන්න කියන එක තමයි මේ වසරේ තේමාව වෙලා තිබෙන්නේ. බිලිදියක් ලෝකයට බිහි වුණාට පසුව ඇයට ලබාදෙන පෝෂණය , අධ්‍යාපනය , ඇතුළු ඇය වෙනුවෙන් කරන සියලු දේවල් ආයෝජන.

විපක්ෂ නායකවරයා කාන්තා දිනය දවසේ කාන්තාවට සිදුකරන ආයෝජනයක් ලෙස කාසලේ රෝහලේ අලුත් ඉපදෙන බිළිදියන්ට , ඉන්කියුබේටර් යන්ත්‍රයක් හා බේබි වෝමර් යන්ත්‍ර දෙකක් ලබාදුන්නා. ජාත්‍යන්තර කාන්තා දින තේමාව ඒ ආකාරයෙන්ම ඉටු කරන්න විපක්ෂ නායකවරයා , සමගි ජනබලවේගය සහ සමගි වනිතා බලවේගය කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර කාන්තා දිනය දවසේ ගැබිණි මව්වරු 2500 කට අවශ්‍ය පෝෂණ මල්ලක් සහ ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබාදෙන වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන්න සමගි ජනබලවේගයට හැකියාව ලැබුණා.
මීට පෙර ගැබිණි මව්වරුන්ට ලබාදුන් පෝෂණ මල්ල සමහර ප්‍රදේශවල සිටින ගැබිණි මව්වරුන්ට ලැබෙන්නේ නෑ. සමගි ජනබලවේග රජයක් යටතේ අඩු ආදායම් ලාභි පවුල්වල ගැබිණි මව්වරුන්ට ලබාදෙන පෝෂණ මල්ල අඛණ්ඩව ලබාදීමට කටයුතු සිදුකරනවා. කාන්තා ප්‍රප්ඥප්තියක් පළමු වරට ලංකාවට හදුන්වා දුන් පළමු ජනාධිපති අපේක්ෂකයා වන්නේ සජිත් ප්‍රේමදාස විපක්ෂනායකතුමා. ඒ කාන්තා ප්‍රප්ඥප්තිය මෙවරත් ඉදිරිපත් කර සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ එම ප්‍රප්ඥප්තිය ක්‍රියාත්මක කිරිමටත් බලාපොරොත්තු වෙනවා.

සිරගත වී සිටින හොද කල් ක්‍රියාවෙන් කටයුතු කළ කාන්තාවන්ට ජාත්‍යන්තර කාන්තා දිනය දවසේ ජනාධිපති සමාව ලබාදීමේ වැඩපිළවෙළක් සමගි ජනබලවේග රජයක් යටතේ ක්‍රියාත්මක කරන ලෙස සමගි වනිතා බලවේගය සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගෙන් ඉල්ලා තිබෙනවා.

සමගි ජනබලවේගය කාන්තාවන්ව දේශපාලන අවශ්‍යතා සඳහා ප්‍රයෝජනයට ගන්නේ නෑ. කාන්තා දිනය දවසේ සමගි ජනබලවේගයට තිබුණා කාන්තාවන්ව කැඳවලා බත් පැකට් එකක් දීලා උද්ඝෝණයක් හෝ රැස්වීමක් පවත්වන්න. නමුත් එවැනි කටයුත්තක් සිදු කළේ නෑ. එවැනි දෙයකින් කාන්තාවන්ට ආයෝජනයක් සිදුවන්නේ නෑ. කාන්තාවගේ අනාගතයට සහ රටේ අනාගතයට යහපතක් වන ආයෝජන ක්‍රියාත්මක කිරීම තමයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ වැඩපිළිවෙල වෙන්නේ.

පාර්ලිමේන්තුව තුළ සිටින්නේ මේ වනවිට කාන්තාවන් සුළු ප්‍රමාණයක්. දිස්ත්‍රික්ක 25 න් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන කණ්ඩායමට එක් කාන්තාවක් නාම යෝජනා භාර දිය යුතු බවට වන යෝජනාව සමගි වනිතා බලවේගය විපක්ෂ නායකතුමා වෙත ඉදිරිපත් කරලා තිබෙනවා. සමගි ජනබලවේගයේ නාම යෝජනා ලැයිස්තුවට නාම යෝජනා භාර දුන් දිස්ත්‍රික්කයෙන් එක කාන්තාවක් හෝ ඉන්නවා. ඒ අනුව කාන්තාවන් 25 කට ඡන්දය ඉල්ලන්න නාමයෝජනා ලබාදීලා තිබෙනවා.
කාන්තාවන්ට සෑම ක්ශ්‍රේත්‍රයකින්ම ඉහළට යන්න පුලුළන් වාතාවරණයක් රටේ ඇති කළ යුතුයි. ඒ තත්ත්වය රටේ නිර්මණය කරන්න වර්තමාන විපක්ෂ නායකතුමාට හැකියාව තිබෙනවා. ඔහු ඒ වන වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙනුත් ඔප්පු කරලා තිබෙනවා. සමගි ජනබලවේග රජයක් තුළ කාන්තාවට සමතැන හෝ නිසි තැන නෙවෙයි මුල් තැන ලැබෙනවා. සමගි ජනබලවේගයට අවශ්‍ය වන්නේ ශිෂ්ඨ සම්පන්න කාන්තාවන් රට තුළ නිර්මාණය කිරිමයි.

කාන්තාව ශක්තිමත් කාන්තාව කියන රාමුවෙන් එළියට පැමිණ බලවත් කාන්තාවක් විය යුතුයි. බලවත් කාන්තාවක් තවදුරටත් ශක්තිමත් වීම කළ යුතු දෙයක් නෙවෙයි. ශක්තිමත් වෙලා සිටින කාත්තාව එතනින් එළියට ගිහින් බලවත් වෙලයි සිටින්නේ. බලවත් කාන්තාවගේ අරමුණ විය යුත්තේ ශක්තිමත් කාන්තාවන්ට සහාය ලබාදීලා ඔවුන්වත් බලවත් කාන්තාවන් බවට පත්කිරිමයි. රටේ සිටින ශක්තිමත් කාන්තාවන් සියලු දෙනා බලවත් වෙන්න උත්සහ කළ යුතුයි. ශක්තිමත් කාන්තාවන් බලවත් කාන්තාවන් බවට පත් කරන්න සියලු කාන්තාවන් එකතු විය යුතුයි. දුක් විදිමින් ඉදිරියට එන්න උත්සහ කරන කාන්තාවන්ට සහාය ලබාදීම තමයි බලවත් කාන්තාවකගේ කාර්යය වෙන්නේ.

රටේ ව්‍යවස්ථාදායක සභාව තුළ කාන්තා නියෝජනයක් නෑ . පක්ෂ නායකයන්ගේ තීරණ ගන්න තැන කාන්තා නියෝජනයක් නෑ. පාර්ලිමේන්තුව තුළ කාන්තාවන් ගැන තීරණ ගන්නේ පුරුෂ පාර්ශවය. පාර්ලිමේන්තුවේ ප්‍රධාන පුටු කිහිපයක් කාන්තාවන්ට ලබාදීම සම්බන්ධයෙන් පක්ෂ නායකයන් එකතු වෙලා සාකච්ඡා කළ යුතුයි. විපක්ෂ නායකතුමා හැම වෙලාවෙම කියන්න අලුත් පිරිස් වලට අවස්ථාව ලබාදෙන්න කියලා. ඒ අනුව සමගි වනිතා බලවේගයට විශාල කාන්තාවන් පිරිසක් ඒකරාශි වෙලා සිටිනවා. කාන්තාවන් ශිෂ්ඨ සම්මන ආකාරයට දේශපාලනය කළ යුතුයි…”