ඉරාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අහමඩ් වහිඩි අත්අඩංගුවට ගැනීමට නොතීසි නිකුත් කරන ලෙස ආර්ජන්ටිනාව ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

1994 දී බුවනෝස් අයර්ස් හි යුදෙව් ප්‍රජා මධ්‍යස්ථානයකට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 85 දෙනෙකු මිය ගිය බවට ආර්ජන්ටිනාවේ උසාවිය ඉරානය වගකිව යුතු යැයි පවසමින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත

කෙසේ නමුත් ඉරාන අභ්‍යන්තර කටයුතු ඇමති අහමඩ් වහිඩි මේ සතිය මුලදී ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉරාන නියෝජිත පිරිස අතර සිටින බවත් එහිදී වාහිඩි අත්අඩංගුවට ගන්නා ලෙස පකිස්ථානයෙන් සහ ශ්‍රි ලංකාවෙන් ඉල්ලා සිටි බවත් ආර්ජන්ටිනාව ප්‍රකාශ කරයි.

ආර්ජන්ටිනාවේ විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන්ටර්පෝල් විසින් “රතු නිවේදනයක්” නිකුත් කර ඇති බවයි. කෙසේ නමුත් රතු නිවේදනයක් මගින් ජාත්‍යන්තරව අවශ්‍යව සිටින පලාගිය අය ගැන සාමාජික රටවල පොලිසියට අනතුරු ඇඟවීමක් පමණක් සිදු කරන අතර, එය අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නොවේ.

රතු නිවේදනයක් නිකුත් කර ඇති අයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර පොලිසිය විසින් සාමාජික රටවල පොලිසියට බලපෑම් කල නොහැකි අතර අත්අඩංගුවට ගන්නේද නැද්ද යන්න තීරණය කිරීම සාමාජික රට සතුය.

ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ඇතුළු ඉරාන දූත පිරිස මීට පෙර බදාදා ශ්‍රී ලංකාවට පැමිණි අතර, AFP ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ශ්‍රී ලංකාවට පැමිණෙන විට වහිඩි ජනාධිපතිවරයා සමඟ සිටිනු දක්නට නොලැබුණු බවයි.

කෙසේ නමුත් බුවනෝස් අයර්ස් හි යුදෙව් ප්‍රජා මධ්‍යස්ථානයකට ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ (ICRGC) මෙහෙයුම් අංශයට නායකත්වය දුන් වහිඩි මහතා බෝම්බ ප්‍රහාරය පිටුපස සිටි මහ මොළකරුවෙකු බවට ආර්ජන්ටිනාව මීට පෙර චෝදනා කළේය.

සංස්කෘතික මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය ආර්ජන්ටිනාවේ ඉතිහාසයේ මාරාන්තිකම ප්‍රහාරයයි. 85 දෙනෙකුට මරු කැඳවූ පිපිරීමෙන් තුන්සියයකට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

– Sasindu Sahan Tharaka