කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (30) අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට ලිපියක් යවා ඇත. ඔහු එම ලිපි​ය මගින් දන්වා ඇත්තේ, අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ තමාගේ සහෝදරයෙකු වන බැවින් එම නඩුකරය වෙනත් අධිකරණයකට මාරු කරන ලෙසයි.

එම අල්ලස් මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් විමසා බැලීම මෙම අධිකරණයට භාරව ඇති බවත් එම නඩුකරය විනිශ්චය කිරිම තමා ඉදිරියේ සිදු කර කැඳවීමට හැකියාවක් නොමැති බවත් පවසමින් ඔහු යොමු කළ එම ලිපිය මගින් පෙන්වාදී ඇත.

එමෙන්ම එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ හෝ තමාගේ කිසිම සම්බන්ධතාවයක් නොමැති බවත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇති අතර ඒ අනුව එම නඩුව විනිශ්චය කිරිම සඳහා සුදුසු මහේස්ත්‍රාත්වරයෙකු පත් කරන ලෙසයි තිළිණ ගමගේ පවසා ඇත්තේ.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු දෙදෙනා ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවරා ගනු ලැබූ ඉඩමකට අදාළ වන්දිය කඩිනමින් ලබාදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියකදී සළෝචන ගමගේ සහ තවත් පුද්ගලයෙකු ඉකුත්දා පිටකෝට්ටේ ප්‍රදේශයේදී වෙළෙඳසැලක් ඉදිරිපිටදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය.