ළමා අපයෝජන වැළැක්වීම සඳහා දැඩි නීති කෙටුම්පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නීති අංශ වෙත උපදෙස් දී තිබේ.

ඇතැම් ගුරුවරුන් සහ වැඩිහිටියන් මෙන් ම සමාජයේ විවිධ ජන කොටස් අතින් දිගින් දිගට ම සිදුවන ළමා අපයෝජන ඉතා කඩිනමින් මර්දනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා එවැනි ක්‍රියා සඳහා දැඩි දඬුවම් නියම කෙරෙන නීති පද්ධතියක අවශ්‍යතාව අවධාරණය කර ඇත.

කළුතර හෝටලයක ඉහළ මහළකින් වැටී 16 හැවිරිදි දැරියක මිය යාම, කළුතර උපකාරක පංති ගුරුවරයකු විසින් දරුවන් 16 දෙනෙකු අපයෝජනයට ලක් කරනු ලැබීම ඇතුළු සිදුවීම් දිගින් දිගට ම වාර්තා වීම පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.

රටේ දරු පරපුර ආරක්ෂා කර ගැනීම සඳහා වෙනම ම නීති මාලාවක් හඳුන්වා දිය යුතු බව ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.

ඒ සඳහා දැනට පවතින නීති සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා මෙම නීති පද්ධතිය සැකසීමේදී ජංගම දුරකතන, සමාජ මාධ්‍ය ආදිය යොදා ගනිමින් කෙරෙන ළමා අපයෝජන සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලෙස දැනුම් දී තිබේ.

ඒ අනුව, අදාළ නීති කෙටුම්පත් කිරීමෙන් අනතුරුව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට නියමිත ය.

පාසල් විෂය මාලා තුළද වෙනස්කම් සිදුකිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා දෙමාපිය දූ දරු සබඳතා පිළිබඳ සහ ගෘහාශ්‍රිත මානසික සෞඛ්‍ය පිළිබඳ නව සංවාදයක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක අවශ්‍යතාවය ද අවධාරණය කර තිබේ.

ළමා පරපුර රැක ගැනීම සඳහා මෙලෙස දැඩි නීති ගෙන එන අතර ම දරුවාගේ මානසිකත්වය අවබෝධ කර ගනිමින් පුළුල් මනසක් සහිත දරුවෙකු නිර්මාණය කිරීම සඳහා සමාජයේ ආකල්ප වර්ධනය කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මට්ටමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමුවී ඇත.