හෙට (28)දිනයේ සමස්ත පාසල් දරුවන් වෙනුවෙන් සේවයට වාර්තා කරන ලෙස වර්ජනයේ නියුතු ගුරුවරුන්ගෙන් , වැඩබලන අධ්‍යාපන අමාත්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඉල්ලා සිටිනවා

අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් වැඩබලන අධ්‍යාපන අමාත්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන  මේ බව කියා සිටියා

ජාත්‍යන්තර පාසැල් සහ පෞද්ගලික පාසල්වල කිසිඳු ගුරු වර්ජනයකින් තොරව අඛණ්ඩ අධ්‍යාපනයක් දරුවන්ට ලබා දෙන බව පෙන්වා දෙන අමාත්‍යවරයා එම පාසල්වල අධ්‍යාපනය හැදෑරීමට නොහැකි දරුවන් මෙම ගුරු වර්ජනය හේතුවෙන් පීඩාවට පත්වන බව අවධාරණය කරයි.

පැවති ගුරු වැටුප් විෂමතාවයට විසඳුමක් ලෙස 2022 වර්ෂයේදී කමිටුවක් පත්කර  2 ශ්‍රේණියට 14% කින් වැටුප් වැඩි කර ඇති අතර ඒ අනුව මසකට රුපියල් 3750ක මුදල්කින් වැටුප් වැඩිවෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

එසේම 1 ශ්‍රේණියට 26% කින් වැටුප් වැඩිකර ඇති අතර රුපියල් 17,720.00 කින් එම ශ්‍රේණියේ වැටුප් වැඩි වී ඇති බව වැඩිදුරටත් පෙන්වා දුන් අමාත්‍යවරයා 2023 වර්ෂයේ සමස්ත රාජ්‍ය සේවයට රුපියල් 10,000 වැටුප් වැඩිකළ අතර එම වැඩිවීම ගුරුසේවයටද ලබා දුන් බව පැවසුවා.

එසේම 2025 වර්ෂයේ අයවැයෙන් වැටුප් විෂමතාවන් විසඳීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා ඉදිරියේදී පත්වන කිසිදු රජයකට ණය මුදලක් ලබා ගැනීමට හෝ මුදල් අච්චු ගැසීමට මහා භාණ්ඩාගාරයෙන් අවසර ලබා නොදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.