දුම්රිය සේවය වැඩිදියුණු කිරීම සඳහා නව ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

දුම්රිය මූලස්ථානයේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ වෘත්තීය සමිති නියෝජිතයින් සමග පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ දෙපාර්තමේන්තුවේ පවතින සේවක හිඟයට කඩිනම් විසදුම් ලබාදෙන බවය.

මේ අතර දුම්රිය ප්‍රමාදය සහ දුම්රිය දෝෂ වළක්වා ගැනීමට අවධානය යොමුවී ඇති බවත්, දුම්රිය සේවය දියුණු කරගැනීම වෙනුවෙන් මේ වනවිට අයවැය යෝජනා ද ඉදිරිපත් කර ඇති බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

මරදාන දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ.

අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ කොළඹ වරායේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.