එළැඹෙන සිංහල දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන මගීන්ගේ පහසුව උදෙසා විශේෂ දුම්රිය වාර කිහිපයක් ධාවනය කිරීමට කටයුතු සුදානම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියි.

හෙට (10) සිට එම විශේෂ දුම්රිය ගමන් වාරයන් ධාවනය කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

බදුල්ල කරා විශේෂ දුම්රිය දෙකක්ද, බෙලිඅත්ත සිට මරදාන දක්වා සහා ගාල්ල සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය 4ක් ධාවනයට එක්කර ඇති අතර, අප්‍රේල් 14 සහ 15 දිනවල පිට පළාත්වල සිට කොළඹ පැමිණීම සඳහාත් අමතර දුම්රිය එක්කර ඇත.

මේ අතර අප්‍රේල් 13න් පසුව කොළඹ ජනතාවට අවශ්‍යතාවය අනුව බස්රථ යෙදවීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම් හා ධාවන), පණ්ඩුක ස්වර්ණහංස මහතා ප්‍රකාශ කර සිටියේය.