මැතිවරණ සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතේ, පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සහ පළාත් සභා ඡන්ද විමසීම් පනතේ විධිවිධාන පරිදි දැනට පවතින ඇප තැන්පතු මුදල් සීමාවන් කාලෝචිත පරිදි වත්මන් සමාජ, ආර්ථීක සහ දේශපාලන පසුබිම අනුව යාවත්කාලීන කිරීම සුදුසු බවට හඳුනාගනු ගෙන ඇත.

ඒ අනුව, පහත පරිදි අදාළ ඇප තැන්පත් මුදල් සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස්  දීමට ජනාධිපතිවරයා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

1981 අංක 15 දරන ජනාධිපතිවරයා ගැනීමේ පනතට අනුව පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් මිලියන 2.6 දක්වාත්, ස්වාධීන අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් මිලියන 3.1 දක්වාත් ඉහළ නංවා ඇත.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන එක් අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් 11,000/- දක්වාත්, ස්වාධීන කණ්ඩායමක එක් අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් 16,000/- දක්වාත් ඉහළ නංවීමට අනුමැතිය හිමිව තිබේ.

1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනතට අනුව පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන එක් අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් 6,000/- දක්වාත්, ස්වාධීන කණ්ඩායමක එක් අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් 11,000/- දක්වාත් ඉහළ නැංවීම.