නව ඉංග්‍රීසි ගුරුවරුන් 2500ක් බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ රැස්වීමේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේය.

එතුමා වැඩිදුරටත් සඳහන් කර සිටියේ අ.පො.ස සාමන්‍ය පෙළ විෂයන් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම සඳහා ගුරුවරුන් 6500කගේ අවශ්‍යතාවයක් පවතින බවත්, දැනට ගුරුවරුන් 4441 දෙනෙකු ඒ සඳහා අනුමතව ඇති අතර ඒ අනුව තවත් ගුරුවරුන් 2500ක් ඒ සඳහා බඳවා ගන්නා බවත් ය.

මේ වන විට පාසල් 765ක ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයන් ඉගැනිවීම සිදුකරන අතර මෙම වසර තුළදි එම පාසල් ප්‍රමාණය 1000ක් දක්වා වැඩි කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේ ය.

නව ඉංග්‍රීසි ගුරුවරුන් 2500ක් බඳවා ගැනීම සම්බන්ධ යෝජනාව ජනාධිපතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා ඒකාබද්ධව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.