නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත් වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි ..

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, දකුණු, ඌව සහ නැගෙනහිර පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 30-40 පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (28) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා  තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙහිදි ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බව එම දෙපාර්තමේන්තුවේ  අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේය.