අලිවැට සංරක්ෂණය සඳහා බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 4,500ක් වනජීවී අමාත්‍යාංශයට අනුයුක්ත කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වී තිබෙන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 4,500ක් අලිවැට සංරක්ෂණය සඳහා වනජීවී අමාත්‍යාංශයට අනුයුක්ත කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබෙන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළා ය.

වැඩි දුරටත් ඇය සඳහන් කළේ මෙරට වන ගහණය මුළු භූමි ප්‍රමාණයෙන් 32%ක් දක්වා වර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළව වනාන්තරවල සීමා මායිම් සලකුණු කිරීම මෙම වසරේ අවසන් කිරීමට බලාපොරොත්තු වන බව යි.

අද (11) දින ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ යන මැයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරිය මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියා ය.

උමාඔය ව්‍යපෘතිය පිළිබඳවත් අමාත්‍යවරිය මෙහිදි සඳහන් කර සිටියා ය. ඒ ඇය ප්‍රකාශ කර සිටියේ උමාඔය පළමු වන අදියර සාර්ථක ලෙස අවසන් කර තිබෙන බවත් එමඟින් ඉඩම් අක්කර 20,000කට අලුතින් ජලය ලබාදීමට කටයුතු කර තිබෙන බවත් ය.