රාජ්‍ය නැකැත් කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙවර සිංහල දෙමළ නැකැත් අසුබ බවට පසුගිය සමයේ දිගින් දිගටම චෝදනා එල්ල කළ ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය අද (21) විකල්ප නැකැත් රටට ඉදිරිපත් කර ඇත.

ඔවුන් මෙම නැකැත් ඉදිරිපත් කළේ ජාතික නැකැත් කමිටුව ලෙස සංවිධානයක් පිහිටුවා ගනිමිනි.

2024 සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය නැකැත් කමිටුව රාත්‍රී කාලයේ ඉදිරිපත් කළ නැකැත් රටට අසුබ බවට ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය අවස්ථා කිහිපයකම ප්‍රකාශ කළේය.

ඒ අනුව රාත්‍රී නැකැත් වෙනුවට උදෑසන නැකැත් ඇතුළත් කරමින් විකල්ප නැකැත් සීට්ටුවක් ඔවුන් රටට අද ඉදිරිපත් කළේය.

එම සංගමය නියෝජනය කරමින් ප්‍රවීණ ජ්‍යෙතීර්වේදී, ජනක මාධව නවරත්න පවසා සිටියේ, මෙවර අලුත් අවුරුදු උදාව 13 වනදා අපරභාග 9.05ට සිදුවන අතර පුණ්‍ය කාලය හෙවත් සංක්‍රාන්ති කාලය අප්‍රේල් 13 වන දා අපරභාග 2.41 සිට අප්‍රේල් 14 වන දා අලුයම 3.29 දක්වා යෙදී ඇති බවයි.

සාම්ප්‍රදායිකව ඉහත වේලාව පුණ්‍ය කාලය ලෙස භාවිත කළත් නිවැරදි සිද්ධාන්ත අනුව අප්‍රේල් මස 13 වන දින මධ්‍යහ්න 12.11 සිට අපරභාග 6.19 දක්වා වූ හිරු අවරට යෑම දක්වා නිවැරදිම පුණ්‍ය කාලය බව ඔහු සඳහන් කළේය.

පූණ්‍ය කාලය තුළ නිර්මාංශ, පහසුවෙන් දිරවන, කලින් සකස් කරන ලද කෙටි ආහාරයක් පහසු පරිදි ලබාගැනීමේ කිසිදු වරදක් නොමැති බවත්, සංක්‍රාන්තිය රාත්‍රී කාලයේ බැවින් සුබ නැකැත් සාදනය රිසි නියම අනුව දෝෂ සහිත බැවින් සංක්‍රාන්තිය අවසන් වූ පසු අප්‍රේල් 14 වන දින සූර්ය උදාව සමග චාරිත්‍රානුකූලව සූර්ය මංගල්‍ය සැමරීම සුදුසු බවත් ජනක මාධව පැවසීය.

ලිප ගිනි මෙලවීම සහ ආහාර පිසීමේ නැකත අප්‍රේල් මස 14 වනදා පුර්වභාග 6.17ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹ පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සිදු කිරිමත්, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය එදිනම පූර්වභාග 7.07ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹ පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී සිදුකිරිමත් එම නැකැත් සීට්ටුවේ සඳහන් වේ