දින 44ක් පුරා අදියර 7ක් යටතේ පැවති ඉන්දීය මහ මැතිවරණය පසුගිය සෙනසුරාදා අවසන් විය. මිලියන 642 දෙනෙක් ඡන්දය භාවිත කළ මහ මැතිවරණය පැවැත්වුණේ පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය එනම් ලෝක් සභාව ආසන 543කට මන්ත්‍රිවරුන් පත්කරගැනීම සඳහායි. ඡන්දය ගණනය කිරීම මේ වනවිටත් ක්‍රියාත්මක වන අතර එහි ප්‍රතිඵල ද නිකුත් වෙමින් පවතියි.

බොහෝ දෙනා අපේක්ෂා කළ ආකාරයටම අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය මේ වන විට මෙවර මැතිවරණ ප්‍රතිඵලවල පෙරමුණේ පසුවෙයි.

නමුත් ලැබී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව රජයක් පිහිටුවීමට තරම් ප්‍රමාණවත් ආසන ප්‍රමාණයක් භාරතීය ජනතා පක්ෂය සතු කර ගැනීමට නොහැකි වනු ඇති බවට මේ වන විට පුරෝකථන ඉදිරිපත් වී ඇත. ලෝක් සභාවේ බලය දිනාගැනීමට නම් ඕනෑම පක්ෂයක් ආසන 272ක් ලබාගැනීම අනිවාර්ය වේ. මේ වන විට භාරතීය ජනතා පක්ෂය දිනා ඇති ආසන සංඛ්‍යාව 294ක් වන අතර රජයේ ප්‍රබල ප්‍රතිවාදියා වන ඉන්දීය කොංග්‍රසය ද අයත් ඉන්ඩියා සන්ධානය ලෝක් සභා ආසන 231ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවෙයි.

මේ අතර, පසුගිය මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය උත්තර් ප්‍රාන්තයේ ආසන 80න් 62ක්ම ජයග්‍රහණය කළත් මෙවර එහිදීද කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණීමට ඉන්ඩියා සන්ධානය සමත්ව ඇත. එහි ආසන 80න් 45ක් ඉන්ඩියා සන්ධානය ජයග්‍රහණය කර ඇති අතර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ සන්ධානයට ජයග්‍රහණය කළ හැකිව ඇත්තේ ආසන 34ක් පමණි.

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ආසන 39කින් 37ක්ම ජයග්‍රහණය කර ඇත්තේද ඉන්ඩියා සන්ධානයයි. 2019 මැතිවරණයේදී ඡන්ද 55,000කින් අමෙති ආසනය පරාජයට පත්වූ ඉන්දීය කොංග්‍රස නායක රාහුල් ගාන්ධි, රායි බරේලි ආසනයෙන් මෙවර මැතිවරණය ඉදිරිපත්ව තිබේ.

කෙසේ නමුත් මෝදි රජය ලබා ඇති අනපේක්ෂිත පසුබෑම හමුවේ ඉන්දීය කොටස් වෙළෙඳ පොළ තාවකාලිකව කඩා වැටී ඇති බව වාර්තා වන අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මේ වන විට කොටස් මිල සියයට 5කින් පහත වැටී ඇති බවයි.