අපහාස නඩුවකට වරදකරු කිරීම අත්හිටුවන ලෙස ඉල්ලමින් ඉන්දීය කොංග්‍රස නායක රාහුල් ගාන්ධි විසින් ගොනුකර තිබූ පෙත්සමක් ගුජරාට් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

අධිකරණයේ මෙම තීරණයත් සමඟ එළඹෙන වසරේදී පැවැත්වීමට නියමිත මැතිවරණයට රාහුල් ගාන්ධිට තරග කිරීමට ඇති හැකියාව පිළිබඳව අවිනිශ්චිතතාව තවදුරටත් වැඩිවන බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

2019 වසරේ පැවති මැතිවරණ රැළියකදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වාසගම පිළිබඳව සිදුකළ ප්‍රකාශයකින් රාහුල් ගාන්ධි සමස්ත මෝදි ප්‍රජාවටම අපකීර්තියක් සිදුකර ඇති බව පවසමින් භාරතීය ජනතා පක්ෂයේ නීති සම්පාදකයෙකු වන පූර්ණේෂ් මෝදි විසින් රාහුල් ගාන්ධිට එරෙහිව අදාළ නඩුව පවරා තිබුණි.

එම අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට වසර 2ක සිරදඬුවමක් නියමව විය.

එහෙත්  රාහුල් ගාන්ධිට පසුගිය 03 වනදා අධිකරණය විසින් ඇප නියම කෙරිණි.

එසේම මෙම සිදුවීම මුල්කරගනිමින් රාහුල් ගාන්ධි ගේ මන්ත්‍රී පදවිය අත්හිටුවීමට එරට පාර්ලිමේන්තුව පියවර ගැනිණි.