දණ්ඩ නීති සංග්‍රහයේ 19 වන පරිච්ජේදය සංශෝධනය කිරීම සඳහා 2024 පෙබරවාරි 9 වන දා ගැසට් කර ඇති පනත් කෙටුම්පත වහා අත්හිටුවන්නැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත.

1995 වසරේදී දණ්ඩ නීති සංග්‍රහයට සිදු කරන ලද සංශෝධනයන්ට අනුව, මෙරට අවුරුදු 16කට අඩු දැරියක ස්ව කැමැත්තෙන් ලිංගික සම්බන්ධතා පැවැත්වුව ද, එය ස්ත්‍රී දූෂණයක් යටතට ගැනෙන අතර අධිකරණ අමාත්‍යවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහයට ගෙන එනු ලබන යෝජිත සංශෝධනය මගින් එම වයස් සීමාව අවුරුදු 14 දක්වා පහත දැමීමට නියමිත බවටයි ඔවු​න් චෝදනා කරන්​නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කර ඇත්තේ, දණ්ඩ නීති සංග්‍රහයේ 364 වගන්තියට යෝජිත සංශෝධනය පිළිබඳව තම දැඩි කනස්සල්ල ප්‍රකාශ කරන බවත්, 364 වගන්තියට යෝජිත සංශෝධන සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු කරුණුවලට අදාළ විස්තර සිය ලිපිය සමග ඉදිරිපත් කරන බවත්ය.

එබැවින්, දණ්ඩ නීති සංග්‍රහයේ 364 වන වගන්තිය සංශෝධන කිරීම සඳහා යෝජිත පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙනුවෙන් ඉල්ලා සිටින බව සභාපතිවරිය එහි සඳහන් කර ඇත.

සභාපතිවරිය එම ලිපියේ තවදුරටත් සඳහන් කර ඇත්තේ, මෙරට කාන්තාවන් සහ ළමුන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන ලෙසත් ශ්‍රී ලංකාවේ අවදානමට ලක්විය හැකි ජනගහනය සඳහා යුක්තිය තහවුරු කරන ලෙසත් මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙනුවෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බවයි.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු හෝ විකල්ප යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සිය සංසදය ඕනෑ ම අවස්ථාවක සූදානම් බව ද සභාපතිවරිය සිය ලිපියෙහි සඳහන් කර ඇති බවටයි වාර්තා වන්නේ.