රට තුළ ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ජුනි මාසයේ ඇති වීමට දැඩි අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසා ඇත.

මෝසම් වර්ෂාවත් සමඟ ජුනි, ජූලි මාසයන්හි වාර්ෂිකව ඩෙංගු රෝගීන් වැඩිපුර වාර්තා වන බවත් මේ වර්ෂයේ අප්‍රේල් මාසයේ රෝගීන් වැඩිපුර වාර්තා වීමට ආරම්භ වීමත් සමඟ අධි වසංගත තත්ත්වයක් හට ගැනීම සිදු වන බවත් වෛද්‍යවරයා සදහන් කර තිබේ.

පසුගිය වර්ෂයන්හි අප්‍රේල් මාසයේ වාර්තා වූයේ රෝගීන් සීමිත සංඛ්‍යාවක් බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

මේ දිනයන්හි ව්‍යාප්ත වනුයේ ඩෙංගු තුන්වැනි වෛරස් කාණ්ඩය බවත් එය ජනතාව අතර වැඩි වශයෙන් ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙන බවත් ඒ මහතා සඳහන් කර ඇත.

උණ, හිසරදය, ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් ඩෙංගු බවට සැකකර සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීමට යොමු විය යුතු බව ද ඔහු අවධාරණය කර තිබේ.

විශේෂයෙන්ම දින දෙකකට වඩා උණ රෝගය පවතින්නේ නම් ඩෙංගු බවට සැක කළ යුතු බවත් පැරසිටමෝල් හැර වෙනත් කිසිදු වේදනා නාශකයක් ලබා නොගත යුතු බවත් වෛද්‍යවරයා පවසා ඇත.

තමා ජීවත් වන අවට පරිසරය මදුරුවන්ට බෝ විය නොහැකි ලෙස පිරිසිදුව පවත්වා ගන්නේ නම් ඩෙංගු ආසාදිතයන්ගේ වාර්තා වීම අවම කර ගත හැකි බව ද  වෛද්‍යවරයා සදහන් කර තිබේ.

ඩෙංගු අවදානම තවදුරටත් ඉහළ යමින් පවතින අතර විශේෂඥයින් දැනට අනාවරණ කරගෙන ඇති ආකාරයට මේ දිනවල වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ ඩෙංගු 2 සහ 3 යන ප්‍රභේදවලින් බවත් ඒ අතරින් ඩෙංගු 3 ප්‍රභේදයෙන් රෝගීන් වාර්තා වන්නේ වසර 14 කට පසුව බව ද  සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණ කර තිබේ.