2021-2023 අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලිය සඳහා ක්‍රීඩා කළ රටවල් 09ට ලබාදෙන ත්‍යාග මුදල් අයි.සී.සී.ය මගින් අද (26) නිවේදනය කළේය.

ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 3.8ක මුදලක් එනම් ශ්‍රී ලංකා රුපියල් කෝටි 114ක පමණ මුදලක් අදාළ රටවල් 09 අතරේ බෙදාදීමට නියමිතය.

මෙහිදී ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.6ක මුදලක් හෙවත් රුපියල් කෝටි 48ක පමණ මුදලක්ද, අනුශූරතාව දිනාගන්නා කණ්ඩායමට ඩොලර් 800,000ක හෙවත් රුපියල් කෝටි 24ක මුදලක්ද පිරිනැමීමට නියමිත බව අයි.සී.සී.ය සඳහන් කළේය.

ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර ජුනි 07වැනිදා ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ.

ටෙස්ට් ශූරතාවලියේ තෙවැනි ස්ථානය හිමි කරගත් දකුණු අප්‍රිකාවට ඩොලර් 450,000ක මුදලක්ද, සිව්වැනි ස්ථානය දිනාගත් එංගලන්තයට ඩොලර් 350,000ක මුදලක්ද හිමි වේ.

මෙහි 05වැනි ස්ථානය දිනාගත් ශ්‍රී ලංකාවට හිමි වන ත්‍යාග මුදල ඩොලර් 200,000කි. එනම්, රුපියල් කෝටි 06ක පමණ මුදලකි.
මීට අමතරව අනෙක් කණ්ඩායම් 04 වන නවසීලන්තය, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා බංග්ලාදේශයට ඩොලර් 100,000 බැගින් පිරිනැමීමට නියමිතය.