ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සංචාරක හෝටලයක් බවට පරිවර්තනය කිරීමේ ජනාධිපතිවරයාගේ තීරණයට එරෙහිව මෙරටට පැමිණ සිටින විදේශීය සංචාරකයන් පිරිසක් විරෝධය පළකර ඇත.

තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඉදිරියේ විරෝධතා පුවරු ඔසවාගෙන ඔවුන් පවසන්නේ නුවරඑළියේ සංචාරකයන් වෙනුවෙන් ඕනෑතරම් හෝටල් පහසුකම් පවතින බවය.

එහෙත් මෙවැනි ඓතිහාසික උරුමයක් සහිත ‘රාජකීය තැපැල් ගොඩනැගිලි’ ඇත්තේ එකක් පමණක් බවද ඔවුහු පෙන්වාදෙති.

එමනිසා අනාගතය වෙනුවෙන් මෙම උරුමය ආරක්ෂා කරගත යුතු බව මෙම සංචාරකයෝ පෙන්වාදෙති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා නුවරඑළියේ සිදුකළ සංචාරයකදී මෙම තැපැල් කාර්යාල පරිශ්‍රය සුපිරි හෝටලයක් බවට පරිවර්තනය කළයුතු බව අවධාරණය කර ඇත.

ඒ වෙනුවෙන් මෙම ගොඩනැගිල්ල ලබාදිය නොහැකි නම් තැපැල්පතිවරයා ‘ගෙදර යෑමට’ සූදානම් විය යුතු බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.