ඉන්දීය මුද්‍රිත බතික් හේතුවෙන්  දේශීය බතික් සඳහා හිමිව තිබු වෙළෙඳපොළ  මේ වන විට අහිමිව ගොස් ඇති බව දේශීය බතික් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

දේශීය බතික් නිෂ්පාදකයින්ගේ සංගමයේ, සභාපති චම්මි සමරවීර මහතා පවසා සිටියේ, ඉන්දීය මුද්‍රිත බතික් රට තුළට රැගෙන එම තහනම් කර තිබෙන පසුබිමක වෙනත් ඇඳුම් බව අඟවමින් රජයට ලැබිය යුතු කෝටි ගණනක බදු මුදල් පවා අහිමි කරමින් මෙම දැවැන්ත ජාවාරම සිදුකරන බවය.

දේශීය බතික් කර්මාන්තය කඩා වැටීමට ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු කටයුතු කිරීම බරපතළ තත්ත්වයක් බව දේශීය බතික් නිෂ්පාදකයින් පවසයි.

වෙනත් සිංහල අලුත් අවුරුදු සමයන්වලදී දේශීය බතික් සඳහා තිබු ඉල්ලුම මෙවර අහිමි කර ඇති බවද පවසන දේශීය බතික් කර්මාන්තකරුවන් මෙම තත්ත්වය හමුවේ තම කර්මාන්තය කඩා වැටීමට වගකිව සුළු පිරිසකගේ අතමිට සරුවිම පමණක් සිදුව ඇති බවට චෝදනා එල්ල කරති.

මේ හේතුව නිසාම දේශීය බතික් සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ මාරවිල, නාත්තන්ඩිය, මහවැව, දංකොටුව, කොස්වාඩිය, හාල්පන්විල, මරදවැල්ල, හත්තිනිය, තල්විල ඇතුළු ප්‍රදේශවල වෙනත් අවුරුදු සමයන්වලදී තිබු කාර්ය බහුලත්වය දකින්නට නොමැති බව ද වාර්තා වේ.

බතික් වෙළෙඳපොළ අහිමි වීමත් සමග එයින් දිවි සරිකරගත් කර්මාන්තකරුවන් හා එහි සේවය කළ විශාල පිරිසකට මේ වන විට තම රැකියා අහිමි වී ඇතැයි ද අනාවරණය වී තිබේ.