පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පොලිතීන් බෑග් නොගන්නා රෙදිපිළි පාරිභෝගිකයන්ට මුළු බිලෙන් සියයට එකක වට්ටමක් දෙන ලෙස දිවයිනේ ප්‍රධාන පෙළේ රෙදිපිළි අලෙවි ආයතනවලට අද (22) නිර්දේශ කරනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා සඳහන් කර සිටියේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් දැනුම් දෙන බව එම ආයතන කාරක සභාවට දැනුම් දුන් බවයි.

එයට අමතරව ප්‍රධාන වෙළදසැල් හිමිකරුවන් විසින් (Super Market) පොලිතින් බෑග් නොගන්නා පාරිභෝගිකයන්ට රුපියල් 5ක වට්ටමක් ලබාදෙන බව මෙම කාරක සභාවේදී එකගවී ඇත.

පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව සදහන් කරන ලදි.

ප්ලාස්ටික් බෝතල් වලට කිව්.ආර් කේතයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පරිසර අධිකාරියේ ප්‍රධානීන් සහ වතුර සහ බීම වර්ග නිෂ්පාදකයන් එම කමිටුව හමුවට ලබන 2 වැනිදා කැඳවීමට නියමිතය.