අද (18) පෙරවරුවේදී ජාතික ජන බලවේගයේ නායකයින් පිරිසක් විසින් පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමියන්ට බොරැල්ලේ අගරදගුරු නිවසේදී පිළිගන්වනු ලැබුවහ.

මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, නීතිඥ සුනිල් වටගල, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රොහාන් ප්‍රනාන්දු සහ අරුණ ශාන්ත නෝනිස් යන පිරිසක් සහභාගීවිය.

පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරයෙන් අහිමි වූ ජීවිතවලටත්, එම ප්‍රහාරය මගින් අසරණ වූ පවුල්වල සාමාජිකයන්ට සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවටත් එම ප්‍රහාරයට ඍජු හෝ වක්‍ර ලෙස සම්බන්ධවූ පුද්ගලයන්ට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටත් අවධාරණය කරන ප්‍රධාන කරුණු 07ක් එම ප්‍රතිඥා ලියවිලේ ඇතුළත්ව ඇත.