බොහෝ කාලයක සිටම විවිධ හේතු මත ළමයින් අනාරක්ෂිත කොටසක් බවට බවට පත්ව ඇති බව අමුතුවෙන්ම කිව යුතු නැත.  වර්තමානයේ ළමා අපචාර වැඩිවී ඇති බවක් පෙන්නුම් කරන්නේ ළමයින් අපචාරවලට ගොදුරු වීම සම්බන්ධව වාර්තා කිරීම් ඉහළ ගොස් ඇති බැවිනි. වර්තමානයේ ඇති තාක්ෂණික දියුණුව මත යම් අපරාධයක් පිළිබඳ වාර්තා කිරීමට ඇති අවස්ථා වැඩිය. එසේම මාධ්‍ය මඟින්ද මේ සම්බන්ධයෙන් නිතර දැනුවත් කිරීම් කෙරේ. මේ නිසා ලංකාවේ ළමා අපචාර සිද්ධීන් එදාට වඩා යම්කිසි ප්‍රමාණයකට අදාළ අංශවලට වාර්තා කිරීමේ ප්‍රමාණය වැඩි වී තිබේ. ලෝකයේ ළමා අපචාර පිළිබඳ විමසුමට බඳුන් කිරීමේදී ළමා අපචාර වැඩිම රටවල් 5 අතරට ලංකාව ද ඇතුලත්ව ඇති බව අප දැනගත යුතුම ය. විවිධ හේතුන් මත වර්තමාන සමාජයේ විවිධාකාර ළමා හිංසනවල ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව සැබෑය. මෙකී වර්ධනය තුළ වුවද වර්තමානයේ වාර්තා වන්නේ වින්දිතයන් විසින් පැමිණිලි කරන ලද කාම අපරාධ පමණි. සමාජයේ සිදුවන ළමා අපරාධවලින් 90%ක්ම වාර්තා නොවී පවතියි.

සමාජයේ වැඩි වශයෙන් සිදුවන වන ළමා අපචාර අතර ස්ත්‍රී දූෂණ, ළමා ඝාතන, බරපතළ ළමා ලිංගික අපයෝජන, මෙන්ම අපහරණයන් සහ පැහැර ගැනීම්ද ප්‍රධානය. මේ සියලුම දෑ ළමා අපචාර සහ අපයෝජනයන් නොසලකා හැරීම්, කායික අපයෝජන,මානසික හෝ චිත්ත වේගාතමක් අපයෝජන සහ ලිංගික අපයෝජන ලෙස සිදු විය හැකිය. පවුල් ආශ්‍රිත ගැටුම් නිසාද නිසාද දරුවන් නිරායාසයෙන් අපයෝජනයට ගොදුරු වෙයි. නූතන සමාජයේ ළමා අපරාධ වැඩි වීමට බලපා ඇති ප්‍රධාන හේතුවක් වන්නේ කාන්තාවන් හා පුරුෂයන්ගේ වෙනත් සබඳතාය. මෙවැනි පවුල් ආරවුල් ළමා අපයෝජන කෙරෙහි සෘජුවම බලපා ඇති බව පැහැදිලිය.එහෙත් මෙලෙස් සිදුවන අපරාධයන් පොලිස් ස්ථානවලට වාර්තා වන්නේ 10%ක් වැනි සුළු අපරාධ සංඛ්‍යාවකි. ශ්‍රී ලංකා පොලිසියට වාර්තා වන ළමයින්ට එරෙහි බරපතළ අපරාධ සැලකිල්ලට ලක් කිරීමේදී එක් එක් අපරාධ පිළිබඳ වාර්තා වූ ප්‍රමාණය වෙනස්ය.

විශේෂයෙන්ම වැඩි වශයෙන් ළමයින් අපයෝජනයන්ට ලක්වීමට හේතු වන තවත් කාරණයක් වන්නේ ඩිජිටල් මාධ්‍ය පරිහරණයයි. වර්තමානයේ ඩිජිටල් මාධ්‍ය සමඟ ළමයින්ගේ ගනුදෙනු වැඩි වී ඇත. කොවිඩ් වසංගතයක් සමඟ මාර්ගගත ක්‍රමවලින් අධ්‍යාපනය ලැබීමට සිදු වූ නිසා ළමයින් ඩිජිටල් මාධ්‍ය සමඟ වැඩි වශයෙන් කටයුතු කිරීමට හුරු විය. එම නිසා ඩිජිටල් මාධ්‍ය ඔස්සේ සිදුවන රැවටීම්වලින් නන්නාඳුනනා පුද්ගලයන්  තමන්ගේ ගිණුම්වලට එකතු කර ගන්නා අතර මේ නන්නාදුනන පුද්ගලයන් සමග විවිධ සම්බන්ධතාවයන් ද ඇතිකර ගනියි.  එලෙස ඇතිවන සම්බන්ධතා හේතුවෙන් ළමයින්ව විවිධ අපයෝජනවලට ගොදුරු කරගෙන ඇත. තාරුණ්‍යයේදී පහළ වන ප්‍රේමණීය අදහස් , ආදරය පිළිබඳව ඇති දැඩි ඇල්ම නිසා වර්තමානය වන විට  බොහෝසෙයින් ළමා අපචාර සහ අපයෝජන සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. ආදරය , ප්‍රේමය එක්තරා ලෙසක සුන්දර , ආකර්ෂණීය හැඟීමක් වුවත් යම් යම් අවස්ථා වලදි ආදරය , ප්‍රේමය ඉත්තන් කර ගනිමින් ජීවිත බිලිගන්නන්ද පැමිණිය හැකිය.

ආදරය , ලිංගිකත්වය සහ බිදවැටීම් ( Love, Sex and Breakup ) පිළිබඳව කියවීමට උන්දුවක් දක්වන අයෙක් සිටීනම් පහත ලින්ක් එක හරහා  xposure web අඩවියේ ලිපිය කියවිය හැකිය.

Love , sex & breakup
https://xposure.lk/love-sex-breakup/

 ඒ වගේම Love , sex and breakup පිළිබඳව GenZ podcast එකද නැරඹීය හැකිය.

මෙරට සිදුවෙන ළමා අපචාර සහ අපයෝජනය පිළිබඳව පසුගිය කාල වකවානුවේදී මැති සබයේ ද දැඩි ලෙසටත් කතාබහට ලක්විය.  ඒ අනුව පවුල් සෞඛ්‍ය කාර්යාංශයට අනුව 2022 වසරේ ශ්‍රී ලංකාවේ නව යොවුන් මව්වරුන් 2,087ක් පමණ වාර්තා වූ බව රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ පසුගිය දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
සංක්‍රමණික මව්වරුන්, පවුල් සංස්ථාව බිඳ වැටීම, ලිංගික අධ්‍යාපනය නොමැතිකම, මව්පියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, මව්පියන් දෙදෙනාම රැකියාවල නිරත වීම සහ දරුවන් අතර ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය ඉහළ යෑම වැනි කරුණු නිසා යොවුන් වියේ මව්වරුන්ගේ සංඛ්‍යාව ඉහළ යෑමට හේතු වී ඇති බව ඇය සඳහන් කර තිබුණි. එමෙන්ම මෙරටින් වාර්තා වන ළමා දූෂණ සිද්ධීන්වලින් අඩක්ම විවිධ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් විසින් සිදුකර ඇති බව ද ඇය පෙන්වාදුනි. සැප්තැම්බර් මාසයේදී වයස අවුරුදු 16ට අඩු දැරියන් දූෂණය කිරීමේ සිද්ධීන් 168ක් වාර්තා වූ අතර ඉන් දැරියන් 22ක් ගැබ්ගෙන තිබෙන අතරම ඉන් 15දෙනකු සම වයසේ අය සමඟ ලිංගික සබඳතා පැවැත්වීම නිසා ගැබ්ගෙන ඇති බවත් 07දෙනෙක් ස්ත්‍රී දූෂණ හේතුවෙන් ගැබ්ගෙන ඇති බවත් අමාත්‍යවරිය ප්‍රකාශ කර තිබිණි.

මෙම වසරේ මුල් මාස 07 තුළ පමණක් ශ්‍රී ලංකාව තුළ ළමා අපචාර සම්බන්ධ පැමිණිලි 5000කට අධික සංඛ්‍යාවක් ගොනුකර ඇති බව ළමා ආරක්ෂක අධිකාරිය ද  සඳහන් කර තිබුණි. ජනවාරි 01 වැනිදා සිට ජූලි 31 දක්වා කාලය තුළ ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 5456ක් ද වේ.
පැමිණිලි 1296ක් ළමා හිංසනයන්ට අදාළ ව ද, පැමිණිලි 163ක් ළමුන්ට බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ද, පැමිණිලි 242ක් බරපතළ ලිංගික අපයෝජන පිළිබඳ ව ද ගොනුකර තිබේ.සමාජ මාධ්‍ය සහ සයිබර් අවකාශය හරහා හිංසනයට අදාළව පැමිණිලි 110ක් ළමා ආරක්ෂණ අධිකාරිය වෙත ලැබී ඇති අතර ඉන් පැමිණිලි 76ක් ගැහැණු ළමුන් සම්බන්ධව ද, පැමිණිලි 31ක් පිරිමි ළමුන් සම්බන්ධව ඒවා බව ද සදහන් වේ. ළමයි සිඟමනේ යැවීම සම්බන්ධයෙන් පැමිණිලි 196ක් ගොනුකර ඇති අතර වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් සහ නාගරික තදාසන්න ප්‍රදේශ වලින් බව වාර්තා සඳහන් කරයි.

ලෝක ළමා දිනය ළංවන විට අප හඬනගා කියන මෙවැනි අකටයුතුකම් සමාජය අස්සක් මුල්ලක් නෑර නිරතුරුවම සිදුවේ. දිය යට ගිලුණු බෝලයක් උඩ මතුවන්නා සේ රටේ ලෝකයේ යම් සිද්ධියක් වූ සැණින් ඒ පිළිබඳව ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය මගින් කතාබස් කළ ද හෙළිදරව් නොවන්නා වූ අපචාර එතෙකැයි මෙතෙකැයි කිව නොහැකි තරමටම සමාජයේ මෙවැනි දෑ සිදුවේ. බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාවේ දියුණු හර පද්ධතියක් හා සදාචාරාත්මක වටිනාකම් රැසක් හිමිව ඇත. එහෙත් වර්තමානය වන විට දක්නට ලැබෙන්නේ එම සදාචාරාත්මක වටිනාකම් සෝදාපාළුවට ලක් වී, නීතියේ භූමිකාව කරළියට පැමිණ ඇති බවයි. මේ නිසා ළමා අයිතීන් සුරැකීමෙහිලා නීති පද්ධතිය තුළ සුවිශේෂී කාර්යභාරයක් සිදු කළ යුතුවේ.

රටක ක්‍රියාත්මක වන නීතිය මඟින් මෙවැනි අපරාධ පාලනය කිරීම සඳහා පිටිබලයක් ලැබේ. ලොව පුරා රටවල් මෙවැනි අපරාධ සිදු කරන්නන්ට බන්ධනාගාරගත කිරීම මෙන්ම ප්‍රසිද්ධියේ දඬුවම් ලබාදීමට කටයුතු කරනු ලැබේ. විශේෂයෙන් ඇමරිකාව මෙන්ම යුරෝපා රටවල් මානව හිමිකම් පදනම් කරගත් දෘෂ්ටිකෝණයෙන් යුතුව කටයුතු කිරීමෙන් ළමා අපයෝජන වළක්වා ගැනීම සඳහා පියවර ගෙන ඇත. සියලු මානවයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කළ යුතුය යන පදනම මත මෙම රටවල් නීතිය ක්‍රියාත්මක කරයි. රජයක් ලෙස ළමා අපයෝජන අවම කිරීම හෝ පාලනය කිරීම උදෙසා නීති හා ප්‍රතිපත්ති සංශෝධනය කළ යුතු අතර ස්ත්‍රී පුරුෂ සමාජභාවය සංවේදී අපරාධ යුක්ති පද්ධතියක් නිර්මාණය කිරීම තුළින් වින්දිතයන් සහ සැකකරු පිළිබඳ අවධානය යොමු කිරීම, ළමා අපයෝජන සම්බන්ධ අධ්‍යාපනය විධිමත් කිරීම මෙන්ම ශක්තිමත් ප්‍රතිචාර දැක්වීම වැදගත්ය. එපමණක් නොව වින්දිතයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, අපරාධකරුවන් පුනරුත්ථාපනය කිරීමේ ක්‍රියාවලිය සහ අපයෝජන සහ ළමයින්ට සිදුවන හිංසන පිළිබඳ දත්ත ගබඩා ක්‍රමානුකූලව පවත්වාගෙන යෑම රජය මඟින් කළ යුතු ප්‍රධාන කාර්යයකි. මෙහිදී රජය මඟින් ජාත්‍යන්තර හෝ ජාතික වශයෙන් ළමයින් සුරක්ෂිත කිරීමේ ආයතනයක් හරහා ඉහත කටයුතු කළමනාකරණය කරගත යුතුය.

විශේෂයෙන් පාසල් විෂය නිර්දේශයට මේ සම්බන්ධව ඇතුළත්කර ඇති තොරතුරු තවදුරටත් පුළුල් කිරීම වැදගත් වේ. දරුවාට තම ශරීරය පිළිබඳ අයිතිය ප්‍රකාශ කිරීමට ඉගැන්වීම, ඒ අතරම ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදීමට හැකි ආකාරයෙන් ගුරුවරුන් බිහි කිරීම අවශ්‍ය වේ. එසේම තරගකාරී අධ්‍යාපනය තුළ දරුවන් ආතතිය මෙන්ම වෙනස් මානසික තත්ත්ව තුළ සිටීම නිසා ආත්ම ඝාතන වැනි තත්ත්වයන් වර්ධනය වන බැවින් ජීවිතයක වටිනාකම සහ තමන්ගේ ජීවිතයේ අයිතිය මෙන්ම අන් අයගේ අයිතිය වෙනුවෙන් කතා කිරීමට ඉගැන්වීම කළ යුතුය. විශේෂයෙන් පාසල් විෂය නිර්දේශය තාක්ෂණය භාවිත කරන ආකාරය ඉගැන්විය යුතුය. ළමා හිංසනය සම්බන්ධ කාරණාවේදී කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන් ආයතනවලට ලැබෙන තොරතුරුවලට අනුව ක්‍රියා කිරීමේදී දරුවන්ව නැවත නැවතත් වින්දිතභාවයට පත්වීමට ඉඩ නොතැබිය යුතුය. එසේම අධිකරණ කටයුතුද ප්‍රමාදයකින් තොරව පවත්වාගෙන යෑමට වගබලා ගැනීමද වැදගත් වේ.

එමෙන්ම අවශ්‍ය අවස්ථාවන්හිදී දරුවන්ගේ මානසික පීඩනය අවම කිරීම සඳහා මනෝ උපදේශන ආයතන පුළුල් කළ යුතුය. ඒ සඳහා සයිබර් අවකාශය මඟින් උපදේශන ලබාදීමට අදාළ රාජ්‍ය ආයතන පෙළගැස්විය හැකි අතර පාසල් මනෝ උපදේශන ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ. වින්දිතයන් මෙන්ම අපරාධකරුවන් පුනරුත්ථාපනය කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය වැඩසටහන් මඟින් ඔවුන්ගේ මානසික මට්ටම වෙනස් කිරීමද වැදගත් වේ. මේ අතරම පවුල් සංස්ථාව ආශ්‍රිතව මවුපියන් මෙන්ම වැඩිහිටියන් දැනුවත් කිරීම් තුළ ළමා සුරක්ෂිතභාවය තහවුරු කළ හැකිය. දරුවන් විෂයෙහි ඉහළ යමින් පවතින මෙවැනි අපරාධ සිද්ධීන් මාධ්‍ය වාර්තාකරණයේදී ඉතා පරිස්සම් වීම අත්‍යවශ්‍ය වේ. එහිදී දරුවන්ගේ අනන්‍යතාව හෙළි නොකිරීමට වගබලා ගත යුතුය. ළමයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගැනීම වගකිවයුතු පාර්ශ්වයන්ගේ යුතුකමකි.

මේ පිළිබඳව වැඩිදුරටත් දැනගැනීමට xposure youtube channel එක මගින් සිදු කළ sex education mono vlog එක නැරඹීය හැකිය.

නිර්මාණි ගුණරත්න