අම්පාර – තිරුක්කෝවිල් ප්‍රදේශයේ පාසලක වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ මැරතන් තරගයක් අතරතුර තිරුක්කෝවිල් ප්‍රදේශයේම පදිංචි 16 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ උදෑසන පැවති මැරතන් තරගයේ සිටියදි  එක්වරම මෙම සිසු​වා ඇදවැටි තිබුණා. අනතුරුව ඔහු තිරුක්කෝවිල් රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති අතර මරණ​ය සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව නැගෙනහි​ර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක සුජාතා කුලේන්ද්‍ර කියා සිටියේ මේ සම්බන්ධයෙන් අද (12) පාසැල් බලධාරීන් කැඳවා කරුණු විමසීමට නියමිත බවයි.

උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලවල් පැවැත්වීමට සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙන පසුබිමකයි මෙම සිසුවා ඊයේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

කෙසේ වෙතත් සිසුවාගේ ඥාතීන්, පාසල් සිසුන් ඇතුලු දෙමාපියන් චෝදනා කළේ රෝහල් බලධාරීන් විසින් සිසුවාට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබාදීමට කටයුතු නොකළ බවටයි.

ඊට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් තිරුක්කෝවිල් රෝහල ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් විරෝධතාවේ නිරත වූ අතර පිරිසක් රෝහල දෙසට ගල් ප්‍රහාරයක්ද එල්ල කළා.