අම්බලන්ගොඩ – ගලගොඩ සහ ඇල්පිටිය – පිටිගල ප්‍රදේශවල ඊයේ (11) රාත්‍රීයේ සිදු වූ වෙඩි තැබීම් දෙකකදී පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

පිටිගල, ගුරුවල ප්‍රදේශයේ වෙළෙඳසැලක් අසලදී ඊයේ (11) රාත්‍රීයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සදහන් කරයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇත. සිද්ධිය සිදු වු අවස්ථාවේම කරන්දෙණියේ පදිංචිකරුවකු වන සසිත් මධුෂංක නම් 31 හැවිරිදි අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනතුරුව රෝහල්ගත කළ පිරිස අතර සිටි 26 හැවිරිදි කවිෂ්ක අංජන නමැති පුද්ගලයා අද අලුයම මියගොස් ඇති බව වාර්තා වේ. තවද එම සිද්ධියෙන් මේ වන විට කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

කෙසේ නමුත් සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලිසිය විමර්ශණ ආරම්භ කර ඇති අතර පොලීසිය සැක පළ කරනු ලබන්නේ මෙම වෙඩි තැබීම සඳහා ටී – 56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවයි.

මේ අතර අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ රාත්‍රී‍යේ එම වෙඩිතැබීම සිදුකර ඇති බවයි. මෙම වෙඩි තැබීම සඳහාද ටී – 56 ගිනි අවියක් භාවිතා කර ඇති බවට පොලීසිය සැක පළ කරයි.

වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ, හලඹ උදේශ් මධුරංග නොහොත් ‘පොඩි මැන්ඩිස්’ නැමැත්තෙක් හා දඩල්ලගේ සිතුම් අංජන නොහොත් ‘සුදූ’ නැමැත්තෙකි. තුවාල ලැබූවන් මේ වන විට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

කෙසේ නමුත් එම සිද්ධිය සම්බන්ධයෙන්ද අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.