අද (30) ශාරීරික දඬුවම් අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් එයට සමගාමීව ඊයේ (29) දිනයේදී දණ්ඩ නීති සංග්‍රහයට සහ අපරාධ නඩු විධාන සංග්‍රහයට සියලුම ක්‍ෂේත්‍රයන්හි ශාරීරික දඬුවම් තහනම් කිරීම සඳහා වන සංශෝධන කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඒ අනුව සෑම දරුවෙකුගේම අයිතීන් සහ යහපැවැත්ම සුරක්ෂිත කිරීමටත්, ශ්‍රී ලංකාවේ කිසිදු දරුවෙකු ශාරීරික හෝ මානසික ප්‍රචණ්ඩත්වයට ලක් නොවන බව සහතික කිරීම සඳහා නීතිමය ආරක්ෂාවක් ද එයින් සැලසෙනවා.

ශාරීරික හිංසන ළමා අපයෝජන අතරින් ඉහළින්ම වාර්තාවන අතර, සෑම වසරකම ලොව පුරා ළමුන් බිලියන 1.3කට වඩා කායික හිංසනයට ලක්ව තිබෙනවා.

UNCRC 19 වැනි වගන්තිය ළමයින්ට එරෙහි සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ට එරෙහිව ආරක්ෂාව ඉල්ලා සිටින අතර ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුව, සාමාන්‍ය විවරණ අංක 8 හි අවධාරණය කරන්නේ ශාරීරික දඬුවම් සියලු සැකසුම් තුළ තහනම් කළ යුතු බවයි.