“They’re saying this is violence? I’ll show them what A VIOLENT film will Be” (ඔවුන් කියනවා නම් මේ චිත්‍රපටය ප්‍රචණ්ඩකාරී කියා, මම ඔවුන්ට පෙන්නනම් ප්‍රචණ්ඩකාරී චිත්‍රපටයක් කියන්නේ මොකක්ද කියලා) සංදීප් රෙඩ්ඩි වංගා මෙසේ කියන්නේ ඔහුගේ Kabir Singh චිත්‍රපටය පිළිබඳව එල්ලවුණු චෝදනාවකට පිළිතුරු දෙමින්. බොලිවුඩ් සිනමා ඉතිහාසයේ මෙතෙක් නිර්මාණය කෙරුණු ප්‍රචණ්ඩකාරීම චිත්‍රපටය ලෙස අවිවාදයෙන් පිළිගත හැකි “Animal” මගින් සංදීප්, ඔහුගේ ප්‍රකාශයට උපරිම සාධාරණය ඉටු කර ඇති බව පෙන්වා තිබෙනවා. එපමණක් නොවෙයි, දෙසැම්බර් පළමු වැනිදා තිරගත කිරීම ආරම්භ කළ “Animal” චිත්‍රපටය ඉතා ඉහළ ප්‍රතිචාර ලබමින් අතිසාර්තකව තිරගත වනවා. ඉන්දියානු රුපියල් කෝටි 116 ක් උපයාගනිමින් මෙම වසරේ තිරගත වූ ඉන්දියානු චිත්‍රපට අතරින් පළමු දින වැඩිම ආදායම ලබා ගත් චිත්‍රපට අතර සිව්වැනි ස්ථානයට හිමිකම් කීමට Animal සමත් වූ අතර, දෙවැනි හා තෙවැනි දිනවල ආදායම සුපිරි නළු ශාරුක් ඛාන්ගේ Jawan ද පසුකර යාමට සමත් වුණා.

2023 වසරේ ලොවපුරා පළමු දින වැඩිම ආදායමක් ලබා ගත් ඉන්දියානු චිත්‍රපට 5 මෙසේයි.

Leo ( Tamil ) – ₹ 148.5 CR

Adipurush ( Telugu/Hindi ) – ₹ 140 CR

Jawan ( Hindi ) – ₹ 129.6 CR

Animal ( Hindi ) – ₹ 116 CR

Pathaan ( Hindi ) – ₹ 106 CR

නිවාඩු දිනයක් හෝ උත්සව සමයක් ඉලක්ක කර ගනිමින් තිරගත කිරීම ආරම්භ නොකළ (Non holiday / Non festival release), ආරාධිත රාංගනයන්ද (Cameos) කිසිවක් දක්නට නොලැබෙන Animal තනි චිත්‍රපටයක් ලෙස ලබා ගත් මෙම ජයග්‍රහණය සුවිශේෂී වනවා. එමෙන්ම, “වැඩිහිටියන්ට පමණයි” ලේබලය යටතේ, පැය තුනහමාරක පමණ කාලයක දීර්ඝ ධාවන කාලයකින් තිරගත වුවත් මෙවැනි ආදායමකට ළඟාවීම ඇත්තෙන්ම ජයග්‍රහණයක්. ඉන්දියාව තුළ දේශානුරාගය වඩවන War-Biopic ශානරවල චිත්‍රපටයකට ඇති ඉල්ලුම කෙතරම්ද යන්න අප හොඳින් දන්නා කරුණක්. එම නිසා එදිනම තිරගත කිරීම ඇරඹූ Sam Bahadur  චිත්‍රපටය Animal වෙත යම් අභියෝගයක් එල්ල කරතැයි අපේක්ෂා කළද, Animal ඉන්දියාව පමණක් තුළ කෝටි 60 ඉක්මවූ පළමු දින ආදායමක් ලබා ගෙන ඇත්තේ Sam Bahadur  කෝටි 5කට සීමා කරමින්. මිට අමතරව, රන්බීර් කපූර්ගේ සිනමා දිවියේ වැඩිම පළමු දින ආදායමක් ලබා ගත් චිත්‍රපටය ලෙසත්, වැඩිහිටියන්ට පමණයි (A Rated)ලේබලය යටතේ පළමු දිනයේ දී වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය ලෙසත් Animal  වාර්තා අතරට එකතු වනවා.

ද්විත්ව චරිත රංගනයක යෙදෙන රන්බීර් කපූර් සම්පූර්ණ චිත්‍රපටය පුරාවටම තමන්ගේ “අණසක” පතුරවන බවයි කිව හැක්කේ. ස්වරූපයන් කිහිපයකින්ම තිරයේ පෙනී සිටින රන්බීර්ගේ රංගනය තුල ඔහු රඟපෑ Rockstar (2011) චිත්‍රපටයේ “Jordan” සහ Sanju (2018) චිත්‍රපටයේ “Sanjay Dutt” චරිත ඇතැම් අවස්ථාවලදී මතකයට නැගීම වළක්වන්නට බැහැ. දීර්ඝ ධාවන කාලයක් සහිත චිත්‍රපටයක් වුවත් කිසිම එපා වීමකින් තොරව නරඹන්නට රන්බීර්ගේ දක්ෂ රංගනයම ප්‍රබල හේතුවක් වනවා. රන්බීර් සිය සමකාලීනයන් අතර විශිෂ්ඨතමයා බව නැවතත් ඔප්පු කර පෙන්වූ රංගනයක් ලෙසයි මෙය හඳුන්වා දිය හැක්කේ. රන්බීර් හැරෙන්නට මෙම චරිතය මෙතරම් සාර්ථකව නිරූපණය කළ හැකි නළුවකු ගැන සිතීමට පවා අපහසුයි. මෙම වසර තුළ මෙතෙක් තිරගත වූ චිත්‍රපට අතරින් හොඳම නළුවාට හිමි සම්මානය ඇත්තේ රන්බීර්ගේ අත පොවන මානයේ යැයි කිව හොත් එය අතිශයෝක්තියක් නෙවෙයි. නමුත්, තවමත් තිරගත නොවුණු Dunki සහ Sam Bahadur ද එම සම්මානයට අභියෝගයක් එල්ල කරනු ඇතැයි විචාරකයින් අනුමාන කරනවා.

පසුගිය වසරේ තිරගත වූ  “Love Hostel” චිත්‍රපටයේ ද ඝාතකයෙකුගේ චරිතය නිරූපණය කළ බොබී ඩියෝල් ද සිය සිනමා දිවියේ සුවිශේෂී රංගනයක නිරතවන බව කිව යුතුයි. Abrar Haque  නම් ගොළු වියරු මිනිසකුගේ චරිතයකට පණ දෙන බොබීගේ දක්ෂ රංගනය පරිපූර්ණ දුෂ්ඨයෙකු (Perfect Villain) තිරයට ගෙන ඒමට සමත් වී ඇති නමුත්,  චිත්‍රපටය තුළ ඔහුගේ චරිතයට හිමිව ඇති තිර කාලය නම් මඳ බවයි අපගේ හැඟීම. ප්‍රවීණ නළු අනිල් කපූර් ද සිය චරිතය ආයාසයකින් තොර ව මැනවින් ඉදිරිපත් කරන බව කිව හැකියි. ප්‍රධාන නිළිය ලෙස චරිත නිරූපණය කරන රශ්මිකා මන්දනා දකුණු ඉන්දියානු රසිකයින් සිනමා ශාලාවලට අද්දවා ගැනීමේ උපක්‍රමයක් ලෙස මෙම චිත්‍රපටයට දායක කරගන්නට ඇති බවයි ඇතැමුන් පවසා සිටියේ. පූර්ව ප්‍රචාරක පටය නිකුත් වූ පසු ඇයගේ රංගනය සමාජ මාධ්‍ය තුළ උපහාසයටද ලක්වනු දැක ගැනීමට ලැබුණා. ඇතැම් අවස්ථාවල ඇයගේ නිරූපණයෙන් අධි රංගනයක් දක්නට ලැබුණු නමුත්, සමස්තයක් ලෙස ඇයගේද රංගනය ඉහළ මට්ටමක පැවති බව කිව හැකියි. විශේෂයෙන් සංවේදී දර්ශනයන් තුළ රන්බීර් හා කරට කර සිටිමින් ඉහළ රංගන ප්‍රතිභාවක් ප්‍රදර්ශනය කරන්නට ඇය සමත් වුණු බව කිව යුතුයි.

ක්‍රියාදාම චිත්‍රපටයකට පසුබිම් සංගීතය (BGM) අතිශය වැදගත් වනවා. ප්‍රධාන චරිතයේ හඳුන්වාදීමේ (Intro) අවස්ථාවේ සිටම පසුබිම් සංගීතය මෙන්ම මතකයේ රැඳෙන ආකාරයේ සුමියුරු ගීතයන්ද Animal පරිපූර්ණ චිත්‍රපටයක් බවට පත් කිරීමට සමත් වුණා. සටන් අධ්‍යක්ෂණය ඉතාම ඉහළ මට්ටමක තිබූ නිසා ක්‍රියාදාම දර්ශන බොහෝ දකුණු ඉන්දියානු චිත්‍රපට වලට වඩා බොහෝදුරට තාත්වික සහ ඉතාම උසස් මට්ටමක  තිබුණා. චිත්‍රපටය ආරම්භයේ සිට විවේකය දක්වා පැහැදිලි ගලායාමක් දකින්නට තිබුණත්, දෙවන අර්ධයේ  චිත්‍රපටය විවිධ පැතිකඩ ඔස්සේ ඇදී යන ආකාරයක් දකින්නට ලැබෙනවා. “රන්විජේ” චරිතයේ ප්‍රචණ්ඩකාරී බව වඩාත් ඉස්මතු කිරීම සඳහා අනවශ්‍ය දර්ශන මෙන්ම තේරුමක් නැති ආකාරයේ “රස්තියාදුකාර” දෙබස් බලෙන් ඔබ්බවා ඇති ආකාරයක් දකින්නට ලැබුණා. එලෙස චිත්‍රපටයට ඇතුළත් කළ චරිතයක් ලෙස හදුනාගත හැකි Tripti Dimri නිරූපණය කළ “Zoya Riaz” චරිතය ඇය විසින් ඉතා හොඳින් නිරූපණය කළත්, එය චිත්‍රපටයේ ගලායාම හා නොගැලපුණු බවයි පෙනෙන්නට තිබුනේ. කෙසේ වෙතත් චිත්‍රපටයේ සියළුම ශිල්පීන්ගේ රංගනය ඉතා ඉහළ මට්ටමක පැවති බව කිව යුතුයි. දෙවන අර්ධයේ සංකීර්ණ භාවය නිසා පැටලිලි සහගත බවක් දකින්නට ලැබුණත් ප්‍රේක්ෂකයා කරකවා අතහරින ආකාරයේ අවසානයක් ලබා දෙන්නේ “සත්ත්වයාගේ දඩයම මෙතෙකින් අවසන් නොවන බවට” එනම්, දෙවන කොටසකට ද ඉඟි කරමින්.

 

Animal හි අධ්‍යක්ෂකවරයා වන සංදීප් රෙඩ්ඩි වංගා ටොලිවුඩ් අධ්‍යක්ෂකවරයෙක්, බොලිවුඩයේ එතෙක් මෙතෙක් වැඩිම ආදායම වාර්තා කළ  Jawan චිත්‍රපටයද කොලිවුඩ් අධ්‍යක්ෂ අට්ලි කුමාර්ගේ අධ්‍යක්ෂණයක්. එපමණක් නොවෙයි මෑත ඉතිහාසයේ දී  පුෂ්කර්-ගයත්‍රි Vikram Vedha (2022), විෂ්ණූ වර්ධන් Shershaah (2021) වැනි දකුණු ඉන්දීය සිනමා අධ්‍යක්ෂවරුන් නිර්මාණය කළ බොලිවුඩ් චිත්‍රපට ලැබූ සාර්ථකත්වය බොලිවුඩ් අධ්‍යක්ෂකවරුන්ට රතු එළියක් දල්වන බවත් අමතක නොකරම බැහැ. ඉතින්, තිරගතවීම අරඹා පස්වැනි දිනය වන විට ඉන්දියානු රුපියල් කෝටි  500 සීමාව අභියස පසුවන Animal පහසුවෙන්ම Blockbuster ලේබලය සිය නම ඉදිරියේ අලවා ගනු ඇතැයි විශ්වාස කළ හැකියි. “සත්ත්වයාගේ” බොක්ස් ඔෆිස් දඩයම කොතැනින් නවතීදැයි කියන්නට තවම කල් වැඩි වුවත්, බොහෝ විට මෙම වසරේ නිකුත් වූ චිත්‍රපට අතරින් Jawan සහ Pathan චිත්‍රපට වලට පමණක් දෙවැනි වෙමින්, ඉන්දියානු රුපියල් කෝටි  750 ආසන්නයට පැමිණෙතැයි අපේක්ෂා කළ හැකියි.

උමේෂ් ද සිල්වා